Gossips

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා

ශ්‍රී ලංකා කණ්ඩායමේ සීමිත පන්දුවාර තරග නායක ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව සිටින බැවින් බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල් වෙත පවරා තිබෙනවා.
පැවති තුන්කොන් එක්දින තරගාවලිය අතරතුර දකුණු පාදයේ ආබාධයකට ලක්වීම නිසා මැතිව්ස් නැවතත් දිවයිනට පැමිණියා.
මෙම ආබාධ තත්වය හේතුවෙන් ඔහුට පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට දැඩි බාධාවන් එල්ලවූවා .
ඒ හේතුවෙන් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරන දිනේෂ් චන්දිමාල් හට එක්දින කණ්ඩායමේ නායකත්වය ද දැරීමට සිදු වූවා.
ඒ අනුව මෙම මස 15 සහ 18 දෙදින පැවැත්වෙන පන්දුවාර 20 තරග දෙක සඳහා ද කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම ඔහුට පැවරී තිබෙනවා.
චන්දිමාල් අවසන් වරට පන්දුවාර 20 තරගයක් සඳහා කණ්ඩායම නියෝජනය කළේ පසුගිය ජනවාරි මාසයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව වන අතර එම අවස්ථාවේ දී ද ඔහුට කණ්ඩායමේ නායකත්වය දැරීමට සිදු වූයේ එහි දී මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්වීම නිසාය.
“අපිට මැතිව්ස්ව මේ තරග දෙකට ක්‍රීඩා කරවලා අවදානමක් ගන්න අවශ්‍ය නැහැ. අපේ සැලසුම ඊළඟ මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලිය සඳහා ඔහුව රැගෙන එන එක.” Cricbuzz වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් ලැබ්රෝයි පැවසීය.