Gossips

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත්, ආදර්ශමත් පාර්ලිමේන්තු අතර – කථානායක

පාර්ලිමේන්තුව රැස්වන හෙට (12) දිනයේදී ද මහජන ගැලරිය සහ කථානායක විශේෂ අමුත්තන්ගේ ගැලරිය විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුවට පිවිසීමට හෙට දිනයේදීත් අවස්ථාව හිමි වන්නේ මාධ්‍යවේදීන්ට පමණක් බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
එමෙන්ම විශේෂ ආරක්ෂාවක් ද පාර්ලිමේන්තු පරිශ්‍රයට ලබාදීමට තීරණය කර තිබෙනවා.
මීට පෙර ද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී මහජන ගැලරිය සහ කථානායක ගැලරිය විවෘත නොකිරීමට තීරණය කළේ පසුගිය දා ඇති වූ ගැටුම් හේතුවෙන්.
එමෙන්ම පසුගිය දා පාර්ලිමේන්තුවේදී ඇති වූ සිද්ධිය පිළිබදව අභ්‍යන්තර විමර්ශනයක් සිදුකිරීමට නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව හෙට (12) පාර්ලිමේන්තුවේදී ප්‍රථම වරට රැස්වීමට නියමිතයි.
පසුගිය නොවැම්බර් මස 14,15 සහ 16 යන දිනවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර මෙම ගැටුම්කාරි තත්ත්වය හටගත් අතර,එහිදී සිදුවූ අලාභහානිවලින් පාර්ලිමේන්තුවට රුපියල් දෙලක්ෂ හැටදහසක පමණ පාඩුවක් සිදුව ඇති බවට මූලික තක්සේරුවලදී අනාවරණ වුණා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ලෝකයේ පාර්ලිමේන්තු අතරින් ආදර්ශමත් පාර්ලිමේන්තුවක් ලෙස පිළිගෙන ඇති බවයි කථානායක කරු ජයසූරිය ප්‍රකාශ කළේ.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජික, සාමාජිකාවන්ගේ දූ දරුවන්ට පාසල් උපකරණ හා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (11) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
පාර්ලිමේන්තුවේදී පසුගිය දා ඇති වූ ගැටුම් පිළිබදව ද සිහිපත් කළ කථානායකවරයා ඒ සම්බන්ධයෙන් තමා ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කණගාටුවට පත් වන බව ද කියා සිටියා.