Gossips

ශ්‍රී ලංකා නියෝජිතයින් මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස්වරිය හමුවෙයි

ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ගිය විදේශ අමාත්‍ය තිලක් මාරපන ඇතුලූ ශ්‍රී ලංකා නියෝජිත පිරිස ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලෙට් සහ ජිනීවා නුවර ජගත් සංවිධාන කාර්යාලයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා හමුවී තිබෙනවා.
එහිදී ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය මානව හිමිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ ප්‍රසාදය පළ කළ බවයි ජිනීවා නුවර ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය සඳහන් කළේ.
විශේෂයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මණ්ඩල යෝජනාව ක්‍රියාවට නැංවීම පිළිබඳව ඇය මෙහිදී අවධානය යොමුකර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමටද එකඟ වී තිබෙනවා.
එම කාර්යයේදී ශ්‍රී ලංකාවට තාක්ෂණික සහය ලබාදීමට සූදානම් බවයි ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සඳහන් කර ඇත්තේ.
මෙම හමුවට එක්වූ ජිනීවා නුවර ජගත් සංවිධාන කාර්යාලයේ නියෝජ්‍ය මහ ලේකම් මයිකල් මොලර් ද සංහිඳියාව සාමය ගොඩනැගීමට සහ සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාවට අඛන්ඩ සහය ලබාදෙන බව ප්‍රකාශ කර තිබෙනවා.