Gossips

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා සිව්වන එක්දින තරඟය අද

ශ්‍රී ලංකාව සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරඟ 05කින් සමන්විත එක් දින තරඟාවලියේ සිව්වන එක්දින තරඟය අද (08) පැවැත්වෙනවා.
දිවා රාත්‍රි තරඟයක් ලෙස තරඟය පැවැත්වෙන්නේ නුවර – පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදීයි.
දෙරට අතර පැවති තුන්වන එක්දින තරඟය ලකුණු 78කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූ අතර එම ජයග්‍රහණයත් සමඟ තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලිය තවත් තරඟ 02ක් ඉතිරිව තිබියදී ජය ගන්නට දකුණු අප්‍රිකාව සමත් වුණා.
අද තරඟය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුවින්ටන් ඩී කුක් හට හිමිවනු ඇති බවයි විශ්වාස කරන්නේ.
ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නිත්‍ය නායක ෆෆ් ඩුප්ලෙසි මීට පෙර පැවැති තෙවන එක් දින තරඟයේදී පන්දුවක් රැකීමට ගොස් සිදු වූ අබාධයක් හේතුවෙන් ඉදිරි තරඟ සියල්ල ඔහුට අහිමවීම හේතුවෙන්.
මේ අතර දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන සිව්වන සහ අවසන් එක්දින තරඟ සඳහා නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකු බොහෝ විට කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ දකුණු අප්‍රිකාව සමඟ අවසන්වූ තුන්වන එක්දින තරඟයෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.