ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු එක්දින තරගය අද ජොහැනස්බර් නුවරදී පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා පිල මෙවර මෙම තරගාවලියට පිවිසෙන්නේ දකුණු අප්‍රිකාවේදී පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලැබූ ප්‍රථම ආසියාතික කණ්ඩායම ලෙසින්.
එක්දින තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු පිලට ලූංගි එන්ගිඩි යළි කැඳවා ඇති අතර, හෂීම් අම්ලා විවේක ගන්වා තිබෙනවා.
පැයට කිලෝමීටර 150 කට ආසන්න වේගයකින් වේග පන්දු යවන ඇන්රිච් නෝජේ ද දකුණු අප්‍රිකානු සංචිතයට ඇතුළත්.
එක්දින තරගාවලියට පෙර පැවති පුහුණු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ දස්කම් දක්වමින් ජයග්‍රහණය හිමිකරගත්තා.
අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් සහ උපුල් තරංග එහිදී පිත්තෙන් දස්කම් දැක්වූ අතර, නායක ලසිත් මාලිංග ලකුණු 35 කට කඩුලූ 5 ක් බිඳ හෙලූවා.
පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගත් අකිල ධනංජය ද දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේදී නැවතත් ශ්‍රී ලංකා පිලට එක්වනවා.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්, නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ පූර්ණ සාමාජිකත්වය තහවුරු කරගැනීමට සමත්වී තිබෙනවා.
ඒ, ක්‍රිකට් නිලවරණ පැවැත්වීමෙන් අනතුරුව පත්වූ නව සභාපති ශම්මි සිල්වා ඩුබායි හි පැවති අයි.සී.සී. අධ්යක්ෂ මණ්ඩල රැස්වීමට සහභාගිවීමෙන් අනතුරුවයි.
පසුගිය මාස 9 ක කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය නිරීක්ෂණ මට්ටමට පහත හෙළා තිබුණා.
අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ ව්‍යවස්ථාව අනුව ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදුකරන දේශපාලන හෝ වෙනත් පත් කිරීම් නීත්‍යානුකූල ලෙසින් පිළිනොගැනීම ඊට හේතුවයි.
පෙබරවාරි මාසය අවසන් වීමට පෙර නව පරිපාලනය තෝරා පත් කරනොගතහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමේ අවදානමක් පැවති බවද ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය සඳහන් කළා.