Gossips

ශ්‍රී ලංකා ජනපතිගේ ඇමතුම ගැන ඉන්දිය අගමැතිගේ ප්‍රසාදය

වැරදි ලෙස උපුටා දක්වා තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමා ඇමතීම පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රසාදය පළ කර තිබෙනවා.
රාජ්‍ය නායකයින් දෙපළ අතර පැවැති දුරකථන සංවාදය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යාංශය මේ බව සදහන් කළා.
ඉන්දීය රෝ ඔත්තු සේවය තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කළ බවිද හින්දු පුවත්පත ඊයේ වාර්තා කර තිබුණා.
කැබිනට් තිරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙන්ම ජනාධිපති මාධ්‍ය අංශය ද නිවේදනයක් නිකුත් කරමින් එම වාර්තා ප්‍රතික්ෂේප කළා.
මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ පස්වරුවේ දුරකථන සංවාදයක නිරතව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ තම ප්‍රකාශයන් වැරදි ලෙස උපුටා දක්වා සහ තමා කළ ප්‍රකාශය විකෘති කර ඇතැයි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට දැනුම්දුන් බවයි.
තමා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකට ඉන්දියාවේ සම්බන්ධයක් අතැයි ප්‍රකාශ කළ බවට පළ වන වාර්තා ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ දුෂ්ඨ සහ සද්භාවයෙන් තොර අදාළ වාර්තා මුළුමනින්ම පදනම් විරහිත සහ සාවද්‍ය ප්‍රකාශ බවත් එහි පරමාර්ථය රාජ්‍ය නායකයින් දෙපළ අතර වැරදි අවබෝධයක් ඇති කිරීම සහ දෙපාර්ශ්වය අතර පවතින යහපත් සබඳතා පළදු කිරීමට උත්සාහ දැරීමක් ලෙස පෙනී යන බවත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සැලකර සිටි බවයි.
අදාළ වාර්තා ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීමට පෞද්ගලිකවත්, රජයක් ලෙසත් ගත් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බවද මෙම නිවේදනයේ දැක්වෙනවා.
සිද්ධිය පිළිබඳ ජනාධිපතිවරයා අප්‍රමාදව පැහැදිලි කිරීම සහ තමා ඇමතීම පිළිබද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැසසුමට ලක්කර ඇති අතර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ අසල්වැසියාට ප්‍රමුඛතාව දීමේ තම ප්‍රතිපත්තිය ඉදිරියට ද පවත්වාගෙන දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බවයි.
මේ අතර, ද හින්දුපුවත්පත ඔවුන්ගේ මුලාශ්‍ර උපුටා දක්වමින් වාර්තා කරන්නේ කැබිනට් හමුවේදී සාකච්ඡාවට ලක්වන කරුණු මාධ්‍යයට පිටවීම පිළිබඳව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙහිදී සාකච්ඡා කර ඇති බවයි.
මේ අතරල තුන්දින නිල සංචාරයක් සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියා.
අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ අග්‍රාමාත්‍යවරුන් දෙපළ අතර ඉහල පෙලේ සාකච්ඡා ලබන 20 වැනිදා පැවැත්වෙන බවයි.