Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී පියල් නන්දන දිසානායක නොවැම්බර් පළමු වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මූල්‍ය වංචාවවලට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමට උත්සාහ ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පසුගිය දා පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.
එහිදී ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියට අදාළව රූපවාහිනී අයිතිය විකිණීමට අදාළ මුදල වෙනත් ගිණුමකට යොමු කිරීම සඳහා උපදෙස් ලබාදුන් බවටයි.
එම විකාශය අයිතිය වෙනුවෙන් සෝනි ටෙලිවිෂන් ආයතනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලැබීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 5.5ක වාරිකයක් වෙනත් ගිණුමකට යොමු කිරීමට ඔහු උත්සාහ කළ බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.