Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ප්‍රශ්ණාර්ථයක් එක් කළ ඊයේ තරඟය

සිය දහසකුත් එකක් දෛනික වැඩකටයුතු මොහොතකට අමතක කරමින් ඊයේ දිනයේ රූපවාහිනීය ඉදිරිපිට රැයක් පහන්කල මෙරට ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ට කලකට අමතක නොවන අත්දැකීමක් ලබාදෙන්නට ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායම කටයුතු කලා.
ඒ ඉතිහාසයේ පලමු වතාවට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කන්ඩායම හමුවේ අවමන් සහගත පරාජයක් ලබමින්.
මෙම පරාජයත් සමග ඔවුන් කල් වේලා ඇතිවම ආසියානු කුසලානයෙන් ඉවත්වී මෙරටට පැමිනිමට ගුවන් ආසන වෙන්කර ගත්තේ ක්‍රීඩාලෝලීන්ට මෙරට ක්‍රිකට් අනාගතය පිලිබදව තවදුරටත් සිතන්නට ඉඩ ප්‍රස්ථාව ලබා දෙමින්.
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී බංග්ලාදේශය හමුවේ නින්දා සහගත පරාජයකට මුහුණදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ තරගයට පිවිසියේ ජයග්‍රහණය අනිවාර්ය වූ පසුබිමකයි.
කාසියේ වාසිය පාරජයවීමෙන් පසු පන්දු යැවීමට සිදුවීම නිසා ආරම්භයේදීම අභියෝගය තවත් දැඩි වුනා.
ඇෆ්ගනිස්තාන පිතිකරුවන් ශ්‍රී ලංකා නම් දැරූ පන්දු යවන්නන්ට නිදහසේ පහර දෙද්දී පන්දු රකින්නන් සිය වගකීම් කොටස මෙම තරගයේදීත් මනාව ඉටුකළේ උඩ පන්දු කිහිපයක්ම අත් හරිමින්.
ඉන් උපරිම පලනෙලා ගත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය ඉනිම හමාර කලේ පන්දුවාර 50 තුල ලකුණු 249ක් ලබාගෙන අබුඩාබි තනතිරුවේදී සිය ප්‍රතිවාදීන්ට හොද අභියෝගයක් ලබා දෙමින්.
පසුගිය කාලය පුරාවට පරාජයන් යථාර්තයක් බවට පත්කර ගැනීම සදහා වෙහෙසුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම තීරණාත්මක තරගයේදීත් එය අකුරටම ඉටු කළා.
මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ අවාසනාවට සිය වෘතීය භාවය දිනෙන් දින අමතක කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සුපුරුදු පරිදි දුර්වල ක්‍රීඩා විලාසයක නිරත වුනේ පන්දුවාර 41යි පන්දුවකදී සිය ඉනිම ලකුණු 158කට සිමා කරමින්.
ස්කොට්ලන්ත,බංග්ලාදේශ,සිම්බාබ්වේ වැනි කණ්ඩායම් හමුවේ පවා තම රටේ අභිමානය පාවා දුන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් සහ බලධාරීන් ඊයේ දිනයේදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වසර 40ක අභිමානයද බන්දේසියක තබා ඇෆ්ගනිස්තානයට පුජා කළා.
ඉන් වැඩි බරක් කරට ගත් නායක ඇන්ජෙලෝ මැතිව්ස් පසුගිය කාලය පුරාවට කලාක් මෙන් තමන්ගේ ස්ථානයට අභියෝගයක් වන ක්‍රීඩකයින්ගේ අනාගතයට නැවතීමේ තිත තබන්නට මෙම තරගාවලියේදීත් පියවර ගත්තා.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මිලියන ගණනින් වැටුප් ලබන පුහුණු කාර්ය මණ්ඩලයකින් සමන්විත වුවත් කණගාටුවට කරුණ වන්නේ 2017 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව සහභාගී වී ඇති එක්දින තරග 41කදී 30ක්ම පරාජය වී තිබීමයි.
අද වනවිට මුදලට තරග පාවාදීමට උත්සහ දැරීමේ සිද්දීන් සදහා මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නම්ද ඈදී ඇති බව සැවොම දන්නා රහසක්.
එවන් වාතාවරණයකදී මෙවන් ලජ්ජා සහගත පරාජයන් පිළිබඳව දෙවරක් නොව දහස් වරක් සිතා බැලිය යුතු නොවන්නේද?
ක්‍රිකට් ආයතනයේ ගැවසෙන බිලියන ගණනක් වූ මුදල් වලට කෙල හලනවා වෙනුවට ක්‍රීඩාව කරවන බලධාරීන්ද සිය රටේ අභිමානය ජාත්‍යන්තරයේ දියවී යන මෙවැනි සිදුවීම් දෙස නොදුටු දෑසින් සිටීම තවදුරටත් පුදුමයක්.
අවසානයේ පැවසිය හැක්කේ තමන් ලබන වැටුපට හෝ සාධාරණයක් කරන්නට මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් සහ බලධාරීන් කටයුතු කරන්නේ නම් එය හෙට දවසේදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ යහපතට හේතුවිය හැකි බවයි.