Gossips

ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංඟුරම වූ රොෂේන් සිල්වා අවසන් ටෙස්ට් තරඟයේ, ජයග්‍රහණයේ රහස හෙළිකරයි

බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලිය ඉතා හොඳ තරගාවලියක් වු බව නායක දිනේෂ් චන්දිමාල් පවසනවා.
පළමු ටෙස්ට් තරගය පන්දු යවන්නන්ට ගැටලු සහගත තත්වයක් පැවති අතර එම තත්වය මෙවර පිතිකරුවන්ට බලපා තිබු බවයි චන්දිමාල් තරගය ජයග්‍රහණයෙන් පසු කියාසිටියේ.
තරගයේ මැද භාගයේදී සැලසුම් සියල්ල හොඳින් ඉටු කිරීමට තම කණ්ඩායමේ ක්‍රීඩකයන්ට හැකිවූ බව ද චන්දිමාල් සිහිපත් කරනවා.
දඟ පන්දු යවන්නන්ගෙන් ඉහළ සහයෝගීත්වයක් හිමිවු අතර සියලුම පන්දු යවන්නන්ගේ සහයෝගයක් ලැබුනු බවයි ශ්‍රී ලංකා නායකයා ප්‍රකාශ කළේ.
දෙවැනි තරගයට ලැබෙන තණතිල්ල බොහෝ දුරට පන්දු යවන්නන්ට වාසිදායක වන එකක් වනු ඇති බවට පළමු තරගයෙන් පසු අවබෝධ වු බව ද ඔහු සඳහන් කලා.
එමෙන්ම රොෂේන් සිල්වා, කුසල් මෙන්ඩිස් සහ අකිල ධනංජයගේ පිතිකරණය පිළිබඳව ද දිනේෂ් චන්දිමාල් මෙහිදී ඇගයීමට ලක් කළා.
දෙවන ටෙස්ට් තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා වුයේ ද රොෂේන් සිල්වායි.
සම්මාන ලබා ගැනීමෙන් පසු ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ තමාට මෙම තරගයේදී සහයෝගය ලබාදුන් නායක දිනේෂ් චන්දිමාල්ට ස්තුතිය පළකරන බවයි.
මීර්පුර් තණතිල්ලේ පිතිකරණයට දුෂ්කර වීම හේතුවෙන් සාමාන්‍ය පරිදි තම පිතිකරණයේ නිරතවූ බව ද ඔහු සඳහන් කළා.
තරගයේ ජයග්‍රහණයට හේතුව පිතිකරණ ලැයිස්තුවේ අවසන් පිතිකරුවන් ද සිය කඩුල්ල රැක ගනිමින් ලකුණු රැස් කිරීම බවයි රොෂේන් සිල්වා කියාසිටියේ.
එම කඩුලුවල ලකුණු 20 හෝ 30 ද ඉතා වැදගත් බව ඔහු සිහිපත් කරනවා.
තම තරග දිවියේ ඉදිරියටත් මෙවැනි දක්ෂතා අතරට පිවිසීමට හැකියාව ලැබෙනු ඇති බවටයි රොෂේන් සිල්වා විශ්වාසය පළකරන්නේ.
මේ අතර මෙම පරාජය සමග බලාපොරොත්තු කඩවීමකට ලක්වූ බව බංග්ලාදේශ නායක මහමුදුල්ලා පවසනවා.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් තම කණ්ඩායම පීඩනයකට ලක් කර ඔවුන්ගේ කාර්ය භාර්යය ඉතා හොඳින් ඉටු කළ බවයි ඔහු පෙන්වා දෙන්නේ.
තම පන්දු යවන්නන්ගේ ද දක්ෂතා පැවති බව මහමුදුල්ලා සිහිපත් කරනවා.
මොමිනුල් හක්ගේ දක්ෂතා ද මෙහිදී බංග්ලාදේශ නායකයාගේ ඇගයීමට ලක්කෙරුනා.
ඔහු දඟ පන්දු යවන්නන්ට ද සාර්ථකව මුහුණ දුන් බව මහමුදුල්ලා කියාසිටියා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත 20 යි 20 තරගාවලිය ලබන 15 වන වනදා ආරම්භ වනවා.
පළමු තරගය පැවැත්වෙන්නේ මීර්පුර් ක්‍රීඩාංගණයේදීයි.