Gossips

ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් වේග පන්දු පුහුණුකරුවෙක්

ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ටිම් මැකාස්කිල් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙසට තාවකාලික පදනම මත බඳවාගෙන ඇතැයි ක්‍රිකට් වාර්තා පවසනවා.
ඒ අනුව ඔහු දිවයිනට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායවේ වේග පන්දු යවන්නන් සමග සහ වේග පන්දු පුහුණුකරුවන් සමග කටයුතු කරනු ඇති.
ටිම් මැකාස්කිල් මෙම මස අවසානයේදී ලංකාවට පැමිණෙන බවයි ක්‍රිකට් පුවත් සේවාවල දැක්වෙන්නේ.
ඔහු පැමිණීමෙන් පසු පළමුවෙන්ම වේග පන්දු පුහුණුකරුවන් සමග එක්ව කටයුතු කරනු ඇති.
අනතුරුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා මහනුවරදී පැවැත්වෙන දින 8 ක පුහුණු කඳවුරට එක්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් තරග සංචාරයට එක්වීමට පෙරයි මෙම පුහුණු කඳවුර පැවැත්වෙන්නේ.
කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ නිර්දේශය මත ටිම් මැකාස්කිල් බඳවා ගැනීම සිදුකර ඇතැයි වාර්තා වනවා.
කෙටි කාලීනව කණ්ඩායම සමග එක්වන ඔහුගේ පුහුණු කිරීම්වල තත්වය අනුව පූර්ණ කාලීනව කණ්ඩායමට එක්කර ගැනීමට අවධානය යොමුකරන බවයි ක්‍රිකට් ආයතන නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවා ලෙසට මේ වන විට රුමේෂ් රත්නායක කටයුතු කරනවා.
ආබාධ හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්වන ක්‍රීඩකයන් යළිත් කණ්ඩායමට එක්කර ගැනීමට පෙර පුහුණු කිරීම සහ දෙවන පෙළ වේග පන්දු බලඇණිය පුහුණු කිරීම ටිම් මැකාස්කිල් බඳවා ගැනීමට තවත් හේතුවන් බව සඳහන්.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක පීටර් ස්ලීප් ද සති දෙකකට කුලී පදනම මත කැඳවා තිබෙනවා.
ඔහු ද මහනුවර පැවැත්වෙන පුහුණු කඳවුරට එක්වන බවයි ක්‍රිකට් පුවත් සේවා පෙන්වා දෙන්නේ.
ඔහු කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ධුරයට අපේක්ෂකයෙක් ද වනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන කොදෙව් සංචාරයේදී ටෙස්ට් තරග 3 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
වසර 10 කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියක් සඳහා කොදෙව් රාජ්‍යයේ සංචාරයකට එක්වන පළමු අවස්ථාව ද මෙයයි.