Gossips

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ණය වාරිකයෙන්, ඩොලර් බිලියනයක් ගෙවයි

මේ වසරේදී ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති ඉතිහාසයේ විශාලතම ණය වාරිකයෙන් ඩොලර් බිලියනයක් හිලව් කළ බව මහබැංකුව ප්‍රකාශ කළා.
ඒ, 2014 වසරේදී නිකුත් කෙරුණු පස් වස් යුරෝ බැඳුම්කර කල් පිරීමත් සමඟයි.
ඊයේ (14) දිනයේදී එම බැඳුම්කර කල් පිරීමට නියමිතව තිබූ අතර පසුගිය සිකුරාදාම අදාළ ගෙවීම් සිදුකිරීමට පියවර ගත් බව මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
කෙසේ නමුත්, අදාළ ණය මුදල පියවීම සඳහා රාජ්‍ය බැංකු හරහා අරමුදල් ලබා ගැනීමට ප්‍රයත්නයක් ක්‍රියාත්මක වුවද එය සාර්ථක නොවූ බැවින් මෙරට විදේශ විනිමය සංචිතයෙන් එය ගෙවීමට පියවර ගෙන ඇති බවයි රොයිටර් වාර්තා කළේ.
මේ වසරේදී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 5.9ක ණය වාරික ගෙවි යුතු අතර ඉන් ඩොලර් බිලියන 2.6ක් පළමු මාස 3 තුළ පියවිය යුතුයි.
මෙරට විදේශ විනිමය සංචිතය 2018 වසර අවසානයේ ඩොලර් මිලියන 6.9ක් ලෙස පැවති අතර ඔක්තෝම්බරයේදී එය ඩොලර් බිලියන 7.9ක් ලෙස පැවතුණා.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සීග්‍ර ලෙස පහත වැටීමත් සමඟ රුපියල රැක ගැනීමට විදේශ සංචිතය භාවිත කිරීම නිසා එය පිරිහීමට ලක්ව තිබෙනවා.
මේ අතර, මේ අතර, විදේශ සංචිතය ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩාමක් වොෂින්ටනය බලා ගොස් තිබෙනවා.
එහි අධික හිමපතනය හේතුවෙන් මූල්‍ය අරමුදලේ සාකච්ඡාව දිනක් කල් ගිය බව ඒ සඳහා එක්ව සිටින අමාත්‍ය හර්ෂ ද සිල්වා ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කළා.
කෙසේ නමුත් අයි.එම්.එෆ්. ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් සහ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම අතර සාකච්ඡාව මෙරට වේලාවෙන් අද (15) උදෑසන සිදුවනු ඇතැයි අපේක්ෂිතයි.