Gossips

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර අවබෝධතා ගිවිසුම් 5 කට අත්සන් තැබේ

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර නව අවබෝධතා ගිවිසුම් 05කට අද අත්සන් තැබුනා.
පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් අතර නිල හමුව අද පස්වරුවේ එරට ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු අතර ඉන් අනතුරුව රාජ්‍ය නායකයන් ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
පළමුව අත්සන් තැබුණේ දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද අවබෝධතා ගිවිසුමයි.
පිලිපීන රජය වෙනුවෙන් එරට ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම්වරයා ඊට අත්සන් තැබු අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන එම ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර සංචාරක සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද නව අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කෙරුනු අතර ඊට පිලිපීන රජය වෙනුවෙන් පිලිපීන සංචාරක දෙපාර්තමේන්තුවේ ලේකම් අත්සන් තැබූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන අත්සන් තැබුවා.
දෙරට අතර කෘෂිකාර්මික සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද නව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබා තිබෙනවා.
ඊට ද ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන අත්සන් තැබූ අතර, පිලිපීන රජය වෙනුවෙන් එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් අත්සන් තබනු ලැබුවා.
කෘෂිකර්ම සංවර්ධන හා ගොවි ජන සේවා අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2008 වසරේ දී පිලපීනයේ කළ සංචාරයේ දී එවකට පිලිපීනයේ කෘෂිකර්ම ලේකම්වරයා සමග පවත්වන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසටයි එම ගිවිසුමට එළඹී ඇත්තේ.
දෙරට අතර අධ්‍යාපන සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද නව අවබෝධතා ගිවිසුමක් අනතුරුව අත්සන් කෙරුනු අතර පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති අරුණි රණරාජා ඊට අත්සන් තැබූ අතර පිලිපීන රජය වෙනුවෙන් එරට උසස් අධ්‍යාපන කොමිසමේ මහාචාර්ය E.De Vera අත්සන් තැබු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ පිලිපීනයේ ලොස් බානෝස් විශ්වවිද්‍යාලය අතර කෘෂිකර්ම තාක්ෂණික සහයෝගීතාවය පිළිබදව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබුනා.
ජාතික කෘෂිකර්ම පර්යේෂණ පද්ධතියේ විද්‍යාඥයන්ට පශ්චාත් උපාධි පාඨාමාල සදහා අවස්ථාව උදාකර දීම එහි අරමුණයි.
පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනි අරුණි රණරාජා හා ලොස් බානොස් විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය Fernando C. Sanchez ඊට අත්සන් තබා තිබෙනවා.