Gossips

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවබෝධතා ගිවිසුම් 03 කට අත්සන් තැබේ

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආර්ථික සහ වෙළෙද සහයෝගීතාවය ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාමට පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි සහතික වී තිබෙනවා.
පාකිස්ථානයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අතර අද (23) පස්වරුවේ පැවති සාකච්ඡාවලදීයි.
දෙරට අතර ආර්ථික, වෙළෙද මෙන්ම ආරක්ෂක පුහුණු වැඩසටහන් ශක්තිමත් කර ගැනීම පිළිබද මෙහිදී නායකයන් දෙපළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
දෙරට අතර ආර්ථික සහයෝගීතාවයේදී ඩොලර් බිලියන 01 වෙළෙද ඉලක්කයක් සපුරා ගැනීම සම්බන්ධයෙන් ද අවධානයට ලක්වී තිබෙනවා.
එමෙන්ම තෙල් සහ ස්වභාවික වායු ක්ෂේත්‍රයේ සිය අත්දැකීම් ශ්‍රී ලංකාවට ලබාදීමට ඕනෑම මොහොතක සූදානම් බවයි පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී සදහන් කර ඇත්තේ.
දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තුළ පසුගිය වසර 50 කට වැඩි කාලයක සිට පාකිස්ථානය ශ්‍රී ලංකාවට ලබාදෙන සහය මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඇගයීමට ලක්වුනා.
පසුගියදා මහනුවර ප්‍රදේශයේ සිදුවූ සිදුවීම පිළිබද මෙහිදී අදහස් දැක්වූ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත්තේ එම ගැටලූව විසදීම සදහා කටයුතු කළ ආකාරය පිළිබද සිය ගෞරවය පිරිනමන බවයි.
ඒ පිළිබද අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශකර ඇත්තේ මෙම සිදුවීම ඇතැම් කණ්ඩායමක් වැරදි ආකාරයෙන් භාවිතා කිරීමට උත්සාහ කළ අතර ඒ පිළිබද තමා කණගාටු වන අතරම නැවත මෙවන් සිදුවීමකට කිසිදු ඉඩක් නොමැති බවයි.
මේ අතර මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 03 කට ද අත්සන් තැබුනා.
මේ අතර පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් යළි ප්‍රතිෂ්ඨාපනය කර තිබෙනවා.
පකිස්ථාන ජනාධිපතිවරයාගේ විශේෂ ආරාධනයක් මත දෙදින නිල සංචාරයක නිරතවන මෛත්‍රීපාල සිරිසේන මහතා එරට පිහිටි එකම ක්‍රියාකාරී බෞද්ධ විහාරස්ථානය වන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත අද පස්වරුවේ පැමිණියා.
අනතුරුව ආගමික වතාවත්වල නිරතව ආශීර්වාද ලබාගත් ජනාධිපතිවරයා සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේයි සමරු ඵලකය නිරාවරණය කර බෞද්ධ මධ්‍යස්ථානය යළි ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබුවේ.
මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ අධ්‍යක්ෂ ආචාර්ය අකුරටියේ නන්ද හිමියන්, සෝමාවතී රජමහා විහාරාධිපති පුජ්‍ය පහමුණේ සුමංගල හිමියන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුනා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ නේපාලය, ඉන්දියාව, මියන්මාරය, කොරියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, චීනය සහ මැලේසියාව යන රටවලින් තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් සහ නියෝජිතයන් මෙම අවස්ථාවට එක්වු බවයි.
මේ අතර පාකිස්තාන ජනරජ දින සැමරුම් උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එරට අග්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි අතර ද්වි පාර්ශවික සාකච්ඡා අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.