Gossips

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අවබෝධතා ගිවිසුම් 04කට අත්සන් තබයි

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙද සහ තාක්ෂණික සහයෝගිතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට දෙරටේ අවධානය යොමුව තිබෙනවා.
දෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕ චා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර නිල හමුව අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී මේ පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා.
2016 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තායිලන්තයේ කළ සංචාරයේදී ජනාධිපතිවරයා විසින් කරන ලද නිල ආරාධනය පරිදි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණ තිබෙනවා.
ජනාධිපති කාර්යාලය වෙත පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර සහිතව එම පිළිගැනීම සිදු වුණා.
නායකයින් අතර සුහද කතා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණා.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අවබෝධතා ගිවිසුම් 04 කට ද මින් අනතුරුව නායකයින් ඉදිරියේ අත්සන් තැබීම සිදුකෙරුණා.
නීති උල්ලංඝනය කරන පුද්ගලයින් හුවමාරුවට අදාළ නෛතික ගිවිසුමකට පළමුව අත්සන් තැබුණු අතර ඇමතිනි තලතා අතුකෝරළ සහ තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා අතර එම ගිවිසුමට අත්සන් තැබීම සිදුකෙරුණා.
දෙරට අතර ක්‍රමෝපායික ආර්ථීක හවුල්කාරිත්වය පිළිබදව ගිවිසුමට අමාත්‍ය මලික් සමරවික්‍රම සහ තායිලන්ත නියෝජ්‍ය වෙළෙද අමාත්‍යවරිය අත්සන් තැබුවා.
තායිලන්ත රජු විසින් ප්‍රචලිත කරන ලද ප්‍රමාණාත්මක භාවය පිළිබද ආර්ථීක දර්ශනය මත පදනම්ව තිරසර ප්‍රජා සංවර්ධන ආකෘතියක් සදහා වූ ඒකාබද්ධ ක්‍රිරයාකාරම් වැඩසටහන පිළිබද සහයෝගිතා ගිවිසුමක් ද අත්සන් තැබුවා.
එමෙන්ම ප්‍රාථමික නිෂ්පාදනවල අගය එකතු කිරීම සදහා තාක්ෂණික සහයෝගිතාවය පිළිබද ගිවිසුමට තායිලන්තයේ Kasetsart විශ්වවිද්‍යාලය සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය අතර අත්සන් තැබීම ද මෙහිදී සිදුකෙරුණා.