Gossips

ශ්‍රී ලංකාව දෙස නව මානයකින් බලන්නැයි, ජනපති ලෝක ප්‍රජාවගෙන් ඉල්ලයි

සන්නද්ධ ගැටුම් අවසන්ව වසර 10ක් ඉක්ම ගොස් පශ්චාත් යුද සමයක වගකීම් ද මැනවින් ඉටු කරමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකා මාතෘභූමිය දෙස නව මානයකින් බලන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ලෝක ප්‍රජාවට ආරාධනයක් කළා.
ජනාධිපතිවරයා මෙම ආරාධනය සිදුකළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩයේ 73 වන සැසි වාරයේ ප්‍රධාන සැසිය ශ්‍රී ලංකා වේලාවෙන් අද (26) අලුයම අමතමින්.
ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් පුළුල් වගකීමක් ඉටුකරමින් සිටින රටක් ලෙස මානව හිමිකම් ප්‍රශ්නයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියළු රාජ්‍යයන්වල සහයෝගය ශ්‍රී ලංකාව තවදුරටත් අපේක්ෂාවෙන් සිටින බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.
එක්සත් ජාතීන් සියළුම ජනතාවට සමීප කරවීම සහ සාමකාමී, තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම යන තේමාවෙන් මෙවර මහා මණ්ඩල සැසි වාරය නිව්යෝක් වේලාවෙන් ඊයේ (25) පස්වරුවේ ඇරඹුණේ ජගත් මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මෙවර සමුළුවේ සමාරම්භය සටහන් කිරීමෙන් අනතුරුවයි.
පොදු යහපැවැත්ම උදෙසා ශක්තිමත් බහු පාර්ශවීය පද්ධතියක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ඔහු සමුළුව අමතමින් ප්‍රකාශ කළා.
නීති රීති සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැප වී කටයුතු කළ යුතු බව අවධාරණය කළ ජගත් මහලේකම්වරයා සංක්‍රමණිකයන් සහ සරණාගතයන් සම්බන්ධ ගැටළුව පිළිබදව ද අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ ප්‍රගතිය ඇති කර ගැනීමට ජගත් මහා මණ්ඩල සැසි වාරය සැබෑ අවස්ථාවක් බවයි.