Gossips

ශ්‍රී ලංකාව, ජය පෙනි පෙනී පරදී – තිසරගෙන් විවේචකයන්ට පිත්තෙන් පිළිතුරු

හයේ පහර 13 ක් සහ හතරේ පහර 8 ක් සමඟ පන්දු 74 කදී තිසර පෙරේරා ලකුණු 140 ක් රැස් කළද නවසීලන්තය සමඟ මවුන්ට් මන්ගනුයි ක්‍රීඩාංගණයේ අද පැවති දෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව, ලකුණු 21 ක තියුණු පරාජයක් ලැබුවා.
නවසීලන්තය ලබාදුන් ලකුණු 320 ක අසීරු ඉලක්කය හඹා යද්දී, කඩුලූ 7 ක් ලකුණු 128 කට බිඳ වැටුණ ද, තිසර පෙරේරාගේ චමත්කාර ජනක පිති ප්‍රහාරය හේතුවෙන් එම ඉලක්කය සමීපයටම පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිවුණා.
නවසීලන්තය සිය පන්දු වාර 50 තුළදී කඩුලූ 7 ක් දැවී ලබාගත් ලකුණු 319 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිල පන්දු වාර 46 යි පන්දු 2 කදී සියලූ ක්‍රීඩකයන් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 298 ක්.
එහිදී තිසර පෙරේරාට අමතරව ධනුෂ්ක ගුණතිලක පන්දු 73 කදී ලකුණු 71 ක් රැස් කළා.
තිසර පෙරේරා, අද ලබා ගත් ලකුණු 140, නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඉනිමකදී ලැබූ වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාව සම කරන අතර, එලෙස ලැබූ වේගවත්ම ශතකය ද වනවා.
තිසර සිය ශතකය ලබා ගැනීම සඳහා වැය කළේ පන්දු 57ක් පමණයි.
තිසර පෙරේරාගේ ඉනිමට ඇතුළත් වූ හයේ පහර 13, ශ්‍රී ලංකා එක්දින පිතිකරුවෙකු ඉනිමකදී ලැබූ වැඩිම හයේ පහර සංඛ්‍යාව බවට පත්වන්නේ 1996 වසරේ සිට පැවති වාර්තාව බිඳ හෙලමින්.
ජයග්‍රහණය පෙනී පෙනී ශ්‍රී ලංකා පිළ පරාජයට පත්වූයේ තිසර එල්ල කළ ගුවන් ගත වූ දිගු පහරක් නවසීලන්ත ක්‍රීඩක ටෙ‍්‍රන්ට් බෝල්ට් විසින් අසීරු උඩ පන්දුවක් ලෙස රැක ගැනීමෙන්.
තිසර පෙරේරා මෙම තරඟයට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ තමාට එල්ල වූ මඩ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් දක්වා තිබුණා.
තමාගේ තැන ආරක්ෂා කර ගැනීමට කිසිවෙකු පසුපස යාම අවශ්‍ය නොවන බව පැවසූ තිසර කියා සිටියේ තමාට එරෙහි චෝදනා සාක්ෂි සහිතව ඉදිරිපත් කරන ලෙසයි.
කෙසේ නමුත් තිසර තමාට එරෙහිව එල්ල වන මඩ ප්‍රහාරවලට අද පැවති තරඟයේ දී පිත්තෙන් නිසි පිළිතුරක් ලබාදුන් බව ක්‍රීඩා විචාරකයන්ගේ අදහසයි.