Gossips

ශ්‍රී ලංකාව, ගෝලීය කාලගුණ අවදානම් දර්ශකයේ 04 වන ස්ථානයට

ශ්‍රී ලංකාවේ ආපදාවලින් සියයට 96කටම හේතු වී ඇත්තේ කාලගුණ වෙනස බව යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවකින් පෙන්වා දෙනවා.
එමෙන්ම ගෝලීය කාලගුණ අවදානම් දර්ශකයේ ශ්‍රී ලංකාව 04 වන ස්ථානයට පැමිණ ඇති බවයි එහි දැක්වෙන්නේ.
ශ්‍රී ලංකාවේ ජල ගැලීම්, නාය යාම්, දැඩි සුළං සහ නියං තත්ත්වයන් ඇතිවීමට මෙම ගෝලීය කාලගුණ වෙනස විශේෂයෙන් හේතු වී ඇති බව යුනිසෙෆ් වාර්තාව සඳහන් කළා.
වාර්ෂිකව ඇති වන ජල ගැලීම් සහ නියං චක්‍රය හේතුවෙන් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තව බොහෝ කලක් ගත විය හැකියි.
එබැවින් ගෝලීය කාලගුණ වෙනස නිසා ඇති වන අවදානම් පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාවේ ශක්තිමත් සූදානමක් පැවතිය යුතු බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙනවා.
2016 සහ 2017 නිරිතදිග මෝසම් සුළං හේතුවෙන් දකුණේ සහ බටහිරදිග ප්‍රදේශවල ජල ගැලීම් සහ නාය යාම් වාර්තා වුණා.
එම වසර දෙකක කාලය තුළ කාලගුණ ආපදාවලින් 500කට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් මිය ගොස් හෝ අතුරුදන් වී තිබෙනවා.
එම කාලය තුළ කාලගුණ විපත් බලපෑ ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව මිලියන 1.3ක්.
මෙරට කාලගුණ විපත්වලට ප්‍රතිචාර වශයෙන් ඕස්ට්‍රේලියානු රජය ලෝක ආහාර වැඩසටහන සහ යුනිසෙෆ් සංවිධානය ලක් රජය සමඟ 2018 සිට 2020 දක්වා වසර 3ක සහයෝගීතා වැඩසටහනක් සඳහා අත්සන් තැබුවා.
එහිදී මෙරට ආපදාවලට ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන සඳහා ලබාදෙන මූල්‍යාධාරය ඕස්ට්‍රේලියානු ඩොලර් හත්ලක්ෂ 50,000ක්.
ව්‍යාපෘතිය මගින් වාර්ෂික මෝසම් සුළං හේතුවෙන් ආපදාවලට ලක්වන රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, මුලතිව් සහ මඩකලපුව දිස්ත්‍රික්ක ඉලක්ක කර ගැනෙන බවයි යුනිසෙෆ් සංවිධානය සඳහන් කළේ.