Gossips

ශ්‍රී ලංකාව ගැන යෝජනාව, ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී අද සාකච්ඡාවට

මෙරට සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහ බ්‍රිතාන්‍ය හා ජර්මනිය ඇතුළු රටවල් 5 ක අනුග්‍රහය ඇතිව සකස් කළ යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයට අද නිල වශයෙන් ඉදිරිපත් කෙරෙනවා.
සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග එහි ඇතුළත් වන අතර, එම යෝජනාව එක්සත් රාජධානිය ඉදිරිපත් කරන්නේ කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ යන රාජ්‍යයන් සමඟ එක්වයි.
2015 වසරේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගත් යෝජනාව ඉදිරිපත් කිරීමටද එම කණ්ඩායම එක්වුණා.
2015 ඔක්තෝම්බර් හා 2017 මාර්තු මාසයේ ඉදිරිපත් කළ යෝජනා මගින් ශ්‍රී ලංකාව එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීමට දිරිගන්වන බව ද මෙම යෝජනාවේ සඳහන්.
ප්‍රධාන කරුණු 4 කින් සමන්විත යෝජනාවලිය මගින් 30/01 යෝජනාව යටතේ ශ්‍රී ලංකාව එකඟ වූ එහෙත් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති කරුණු ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින අතර, ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සත්‍යය, යුක්තිය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් ලබාදිය යුතු තාක්ෂණික සහය මෙන්ම, උපදෙස් ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.
එමගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අඛන්ඩ සමාලෝචනයක් සිදුකර ඒ සම්බන්ධයෙන් ලිඛිත යාවත්කාලීන වාර්තාවක් කවුන්සිලයේ 43 වන සැසිවාරයට හා සම්පූර්ණ වාර්තාවක් 46 වන සැසිවාරයට ඉදිරිපත් කරන ලෙසටයි.
මේ අතර, විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරය ඊයේ අමතනු ලැබුවා.rn