Gossips

ශ්‍රී ලංකාව ගැන තවත් යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට

මෙරට සංහිදියාව සහ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහ බ්‍රිතාන්‍ය හා ජර්මනිය ඇතුළු රටවල් 5 ක අනුග්‍රහය ඇතිව සකස් කළ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයට අද නිල වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිතයි.
සංහිදියාව, වගවීම හා මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග එහි ඇතුළත් වන අතර, එම යෝජනාව එක්සත් රාජධානිය ඉදිරිපත් කරන්නේ කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ යන රාජ්‍යයන් සමඟ එක්වයිි.
2015 වසරේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගත් යෝජනාව ඉදිරිපත් කිරීමටද එම කණ්ඩායම එක්වුණා.
2015 ඔක්තෝම්බර් හා 2017 මාර්තු මාසයේ ඉදිරිපත් කළ යෝජනා මගින් ශ්‍රී ලංකාව එකග වූ කරුණු ක්‍රියාත්මක කිරීමට දිරිගන්වන බව ද මෙම යෝජනාවේ සදහන්.
මේ අතර මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සකස් කළ වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයට ඊයේ ඉදිරිපත් කෙරුණා.
ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ විදේශ අමාත්‍ය තිලක් මාරපන කියා සිටියේ එම වාර්තාවේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් කිසිසේත් එකඟ විය නොහැකි බවයි.
සිය වාර්තාව ඉදිරිපත් කරමින් සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාව අත් කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කළ මහ කොමසාරිස්වරිය තවදුරටත් පමාවෙමින් ඇති කරුණු රැසක් සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ අවධානය යොමු කළා.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ අධීක්ෂනය කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලයක් මෙරට ස්ථාපිත කළ යුතු බවද මිෂෙල් බැචලෙට් මෙහිදී අවධාරණය කළා.