Gossips

ශ්‍රී ලංකාව ආසියානු දැල් පන්දු කිරුළ අභියස

2018 ආසියානු දැල් පන්දු කිරුළ සඳහා ශ්‍රී ලංකාව අද සත්කාරක සිංගප්පුරුව සමඟ අවසන් මහා තරඟට මුහුණ දෙනවා.
ඊයේ පැවති අවසන් පූර්ව තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හොංකොං පරදවා ලකුණු 55ට 46ක ජයග්‍රහණයක් අත් කර ගත්තා.
ඒ සමඟම ලබන වසරේ එංගලන්තයේ ලිවර්පූල් හි පැවැත්වෙන දැල් පන්දු ලෝක ශූරතා තරගාවලිය සඳහා ද ශ්‍රී ලංකාව සුදුසුකම් ලබනවා.
ඊයේ පැවති දෙවන අවසන් පූර්ව තරඟයේදී සිංගප්පුරුව, හිටපු ශූරියන් වූ මැලේසියාව පරදවා ලකුණු 51ට 43ක ජයග්‍රහණයක් හිමි කර ගත්තා.
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අවසන් මහා තරඟය මෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතයි.
මීට පෙර 1989, 1997, 2001 සහ 2009 වසරවලදී ශ්‍රී ලංකාව ආසියානු දැල් පන්දු ශූරතාව ජයග්‍රහණය කර ඇති අතර, සිංගප්පුරුව තුන් වරක් ශූරතාව ජයග්‍රහණය කළා.
ශ්‍රී ලංකා පිළේ වත්මන් පුහුණුකාරිය වන 2009 ජයග්‍රාහී ශ්‍රී ලංකා දැල් පන්දු පිළේ ක්‍රීඩිකාවක වූ තිලකා ජිනදාස ප්‍රකාශ කළේ මෙවර ශූරතාව දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දැඩි විශ්වාසයකින් පසුවන බවයි.
තරගාවලිය පුරාම ශ්‍රී ලංකා පිළ අපරාජිතව සිටීම විශේෂත්වයක්. ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාව වන අඩි 6යි අඟල් 10ක් උසැති තර්ජනී සිවලිංගම් ශ්‍රී ලංකා පිළට මෙම ජයග්‍රහණ අත් කර ගැනීමට සුවිශාල දායකත්වයක් දැක්වූ අතර, සිංගප්පූරු මාධ්‍ය සඳහන් කළේ ශූරතාව දිනා ගැනීම සඳහා ඇය අභිබවා යාම විශාල අභියෝගයක් බවයි.