Gossips

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජගත් සංවිධානයේ අවධානය

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජගත් සංවිධානයේ ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවේදී ද අවධානය යොමුව තිබෙනවා.
මෙහිදී ජගත් මහ ලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටෙෆන් ඩුජාරික් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය රට තුලම විසදා ගැනීම සඳහා අදාල පාර්ශව කටයුතු කළ යුතු බවයි.
මේ අතර, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමරිකානු පුරවැසියන් වඩා අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.
ශ්‍රී ලංකා රජයේ නිල නිවේදන සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසද එම ට්විටර් පණිවුඩය මගින් ඉල්ලීමක් කර තිබෙනවා.
බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලයද ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එමගින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය පුරවැසියන් උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථාන සහ පිරිස් එක් රැස්වන ස්ථානවල රැදී සිටීමෙන් වැලකිය යුතු බවයි.
ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ශ්‍රී ලංකාව තුල සංචාරය කරන ඕස්ට්‍රේලියානුවන් නිල නිවේදන සහ මාධ්‍ය නිවේදන පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති සුලෙයිමා ජේ මොහිදීන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පනවා ඇති හදිසි නීතිය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවරක් බවයි.
එය තත්ත්වය පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයක් බවද ශ්‍රී ලංකා තානාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
මලයාසියාවේ ගුවන් සමාගම් කිහිපයක්ද ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව නිවේදන නිකුත් කර තිබුණා.
එම නිවේදන මගින් සඳහන් කර ඇත්තේ හදිසි නීතිය පැනවීමේ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව සමඟ සිදු කරන දෛනික ගුවන් ගමන් අවලංගු කිරීමක් සිදු කර නොමැති අතර ඒවා සාමාන්‍ය පරිදි සිදුවන බවයි.
මේ අතර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට වහාම ක්‍රියාත්මක වන යළි පොලිස් ඇදිරි නීතිය පනවා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ ප්‍රදේශයේ මේ වනවිට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන නැවත දැනුම් දෙන තුරු මෙලෙස පොලිස් ඇදිරි නීතිය පැනවූ බවයි.
මේ අතර, පවතින තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පොලිස්පති පූජිත ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේ අද (07) උදෑසන පැවැත්වුණා.
ඊට මධ්‍යම සහ නැගෙනහිර පළාත් නියෝජනය කරන පොලිස් ප්‍රධානීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් එක්ව සිටි බව සඳහන්.
එහිදී තීරණය වී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරු තුන්දෙනෙකු සහ පොලිස් අධිකාරිවරු තුන්දෙනෙකු බැගින් වූ විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් මහනුවර ප්‍රදේශයට පිටත් කර හැරීමටයි.