ශ්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය ලබාදීමට තීරණය වී තිබෙනවා.
ඒ අනුව එහිදි ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළගදීම දිවයිනට පැමිණීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පිලිපීන සිව්දින රාජ්‍ය සංචාරයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ තවත් සුවිශේෂී ප්‍රතිලාභයක් ලෙසයි එය සැලකෙන්නේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සිය පිලිපීන රාජ්‍ය අතරතුර අද (19) පෙරවරුවේ පිලීපීන පොලිස් මූලස්ථානයට ගොස් තිබෙනවා.
එහි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිරික්ෂණ චාරිකාවකට ද ජනාධිපතිවරයා එක්වු අතර පිලිපීන රජය ගෙන යන නිතී විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ ප්‍රදර්ශනයක් නැරඹීමට ද එක්වුනා.
අනතුරුව එරට පොලිස් ප්‍රධානී ඇතුළු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග පැවති හමුවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි විවෘත සටනක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නංවා ඇති බවයි.
භූගෝලීය පිහිටීම අනුව නිතීවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ශ්‍රී ලංකාව සුවිශේෂී හුවමාරු මධ්‍යස්ථානයක් වී ඇති අතර නීති විරෝධී මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ගෙන එම වැළැක්වීම වෙනුවෙන් සියලූ මිත්‍ර රටවල සහය අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කලා.
නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන ජනාධිපති රොඩ්රිගේ දුතෙර්තේ ගෙන යන සටන මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඇගයීමට ලක්වුනා.
මත්ද්‍රව්‍ය ජාවාරම ලෝකයේ බොහෝ රටවලට ප්‍රබල අභියෝගයක් වුව ද ඒ සඳහා නිසි පියවර නොගන්නේ ඇතැම් දේශපාලනඥයන් ද ඊට සම්බන්ධවීම හේතුවෙන් බව ජනාධිපතිවරයා කියාසිටියා.
එය මත්ද්‍රව්‍ය මර්ධන වැඩපිළිවෙළේ දී පවතින විශාල ගැටලූවක් බවයි ඔහු පෙන්වා දුන්නේ.
ශ්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ ව ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී පැහැදිළි කර තිබෙනවා.
එම වැටලීම්වල දී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ගේ මෙන්ම පොලිස් නිලධාරින්ගේ ජීවිත අහිමිවීම් පවා සිදුව ඇති බවයි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීමට තමා ප්‍රබල සටනක නිරතව සිටින අතර ඒ වෙනුවෙන් මෙම වසරේදී ද වැදගත් තීන්දු තීරණ රැසකට එළැඹෙන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ.