Gossips

ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ අවධානය

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන සිද්ධීන් සම්බන්ධයෙන් තම අවදානය යොමු වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් කුමරු ප්‍රකාශ කළා.
ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 37 වන සැසි වාරයේදී එහි සාමාජික රටවල් පිළිබද වාචික වාර්තාව ඊයේ ඉදිරිපත් කරමිනුයි මහකොමසාරිස්වරයා මේ බව සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ සුළු ජන කොටසකට එරෙහිව ඇති වී තිබෙන ප්‍රචණ්ඩකාරී තත්ත්වයට හේතුව වගවීම සහ සංක්‍රාන්ති යුක්තිය ක්‍රියාත්මක නොවීම බව එහිදී ඔහු සඳහන් කළා.
ඒ හේතුවෙන් සිය යුක්තිය අනුව කටයුතු කරන ලෙස තමන් ජගත් සංවිධානයේ සාමාජික රටවල් උනන්දු කරන බවයි මහකොමසාරිස්වරයා කියා සිටියේ.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් යුරෝපා සංගමය ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ ද්වේශසහගත සාපරාධී ක්‍රියාවන්හි යෙදෙන අපරාධකරුවන් කඩිනමින් නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු බවයි.
එසේම හදිසි තත්ත්වය යටතේ ගන්නා සෑම ක්‍රියාමාර්ගයක්ම සර්ව සාධාරණ මෙන්ම ව්‍යවස්ථාපිත හිමිකම් හා අයිතිවාසිකම්වලට ගරුත්වයක් සහිතව ක්‍රියාත්මක විය යුතු බවයි යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.
මේ අතර, පවතින තත්ත්වය පාලනය කර ගැනීමට ලක් රජයට සහ ශ්‍රී ලාංකීය ජනතාවට හැකියාව පවතින බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක, ගෙන්ග් ෂුන්ග් සඳහන් කළා.
මෙරට පවතින තත්ත්වය පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ලක් රජය පියවර ගනු ඇති බවට විශ්වාස කරන බවයි.
මේ අතර, මහනුවර දිස්ත්‍රික්කය සඳහා පැනවූ ඇඳිරි නීතිය අද පෙරවරු 10ට තාවකාලිකව ඉවත් කෙරුණා.
මහජනතාවගෙන් ලැබෙන ඉල්ලීම් සලකා ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති අතර, අද පස්වරු 6ට එම ප්‍රදේශයට නැවත ඇඳිරි නීතිය පැනවෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊයේ පස්වරු 4ට මහනුවර දිස්ත්‍රික්කයට පනවනු ලැබූ ඇඳිරි නීතිය අද පස්වරු 4 දක්වා ක්‍රියාත්මක වන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත්, සාමාන්‍ය ජනතාවට ආහාරපාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට පහසුකම් සැපයීම සඳහා අවකාශ ලබාදෙනු පිණිස මෙම ලිහිල් කිරීම සිදුකර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළේ.