Gossips

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන්න – චීනයෙන් සිහි කැඳවීමක්

හුදෙක් දේශපාලනමය පූර්ව විනිශ්චයන්ගෙන් පිරුණුල සාක්ෂිවලින් තහවුරු කළ නොහැකි වාර්තාවක් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවට විවිධ පාර්ශ්වයන්ගෙන් විවේචන එල්ල වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසනවා.
ඒ, පසුගිය ජනාධිපතිවරණයේදී චීනය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මුදල් වැය කළ බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ වාර්තාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකාව සමග සැම විටම මිත්‍රත්වය ශක්තිමත්ව පවත්වාගෙන යාම චීනයේ අරමුණ වන අතර මෙරට නිදහස, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවයට ගරු කරන බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඕනෑම රටක් මැදිහත් වීම චීනය ප්‍රතික්ෂේප කරන බවත්, එරට තානාපති කාර්යාලය පෙන්වා දෙනවා.
එම නිවේදනයේ දක්වා ඇත්තේ, ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා සැමවිටම දෙපාර්ශ්වය අතර පුළුල් සංවාදය, ඒකාබද්ධ දායකත්වය සහ දෙරටේ ජනතාව අතර ප්‍රතිලාභ බෙදා ගැනීමේ ස්වර්ණමය රීතිය මත පදනම් වන බවයි.
මේ අතර, නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවූ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බී. වාර්තාවක් මත පදනම්ව සිදුකර ඇති බව රංජන් රාමනායක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇතැයි ශ්‍රී ලාංකිකයෙකු විසින් ට්විටර් පණිවිඩයකින් දක්වා තිබෙනවා.
එයට පිළිතුරු සපයමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මරියා අබි හබීබ් මාධ්‍යවේදිනිය දක්වා ඇත්තේ එය සත්‍යයක් නොවන බවයි.
රජය සහ විපක්ෂයේ පාර්ශ්ව නියෝජනය කරන මාධ්‍යවේදීන් විසින් ඉල්ලා සිටි සම්මුඛ සාකච්ඡා ලබාදීම තමා ප්‍රතික්ෂේප කළ බවත්, අමාත්‍යවරයාගේ දේශපාලනයට හවුල් නොවන බවත් ඇය වැඩිදුරටත් දක්වා තිබෙනවා.
එමෙන්ම පුවත්පතේ පළවූ වාර්තාව මූලාශ්‍ර ගණනාවක් මත පදනම් වූවක් බවත්, අදාළ තොරතුරු තහවුරු කරන්නන් පිළිබඳව තමන් පවසා ඇත්තේ පුවත්පතේ කතෘවරයාට පමණක් බවත් මරියා අබි හබීබ් මාධ්‍යවේදිනිය එම ට්විටර් පණිවිඩයෙන් දක්වා තිබෙනවා.
මේ අතර තවත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය ඉල්ලා සිටින්නේ ඇයගේ වාර්තාව සම්බන්ධයෙන් වෘත්තිමය වශයෙන් පිළිතුරු ලබාදෙන ලෙසයි.