Gossips

ශ්‍රී ලංකාවෙන් සැලකුම් ලැබූ බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පක්ෂයත් අහිමි වෙයි

ශ්‍රී ලංකාවෙන් නොමිලේ ලද සංචාර වරප්‍රසාද හෙලිදරව් නොකිරීම නිසා පාර්ලිමේන්තු සහභාගීත්වය දින 30 කට අත්හිටුවනු ලැබූ බ්‍රිතාන්‍ය මන්ත්‍රී ඉයන් පේස්ලි ඔහුගේ පක්ෂයෙන්ද නෙරපා තිබෙනවා.
පසුගිය පාලන සමයේදී ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ශ්‍රී ලංකාවේ සුපිරි සංචාරක පැකේජයන් නොමිලයේ ලබාදී ඇති අතර, ඒවායේ වටිනාකම ස්ටර්ලින් පවුම් 50,000 කට වැඩි බවයි හෙලිදරව් වී ඇත්තේ.
ලක් රජය වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ හඬ නැගීම සඳහා ඔහු මෙම වරප්‍රසාද ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වුණා.
අදාළ තොරතුරු හෙලිදරව් නොකිරීම හේතුවෙන් ඉයන් පේස්ලිගේ පාර්ලිමේන්තු සහභාගීත්වය දින 30 කට අත්හිටුවනු ලැබූ අතර, ඔහුගේ ආසනයට අතුරු මැතිවරණයක් පැවැත්වීමේ අවදානමක්ද ඇති වී තිබෙනවා.
උතුරු අයර්ලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදී සංගම්වාදී පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන ඉයන් පේස්ලි පිළිබඳව ඔහුගේ පක්ෂය විසින්ද පරීක්ෂණයක් ආරම්භ කළා.
අදාළ පරීක්ෂණයේ ප්‍රතිඵලය ලැබෙනතුරු ඔහුගේ පක්ෂ සාමාජිකත්වයද අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු වෙබ් අඩවිය ඔහු හඳුන්වනු ලබන්නේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙසින්.
පක්ෂයෙන් නෙරපන ලද මන්ත්‍රීවරයෙකු හැඳින්විය යුත්තේ ඒ ආකාරයෙන් බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රකාශිකාව සඳහන් කළා.