Gossips

ශ්‍රී ලංකාවට මැදිහත් නොවන බව චීනය කියයි

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පත් කිරීමට ගත් තීරණයට හේතු වූයේ ඉකුත් රජයේ පැවති ගැටළුසහගත තත්ත්වයන් බව මෙරට සියලූම විදෙස් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳව විදෙස් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (29) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.
එහිදී විදෙස් තානාපතිවරුන් කිහිප දෙනෙකු අදහස් දක්වමින් සඳහන් කළේ රටේ ව්‍යවස්ථාවට අනුකූලව සහ රට තුළ සාමය ආරක්ෂා වන අයුරින් කටයුතු සිදුවිය යුතු බව ඔවුන් අපේක්ෂා කරන බවයි.
කෙසේ වෙතත්, එම අවස්ථාවේදී ජනාධිපතිවරයා කියා සිටියේ තමන් වෙත පැවරී ඇති බලතල අනුව නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සිදුකළ බවයි.
මේ අතර, ශ්‍රී ලංකාවේ සිදුවන දේශපාලනමය වෙනස්කම් එහි අභ්‍යන්තර කටයුත්තක් වන අතර, චීනය ඊට මැදිහත් නොවන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
බීජිං නුවර දී එහි ප්‍රකාශක, ලූ – කෑන්ග් කියා සිටියේ ශ්‍රී ලංකාවේ රජයට, දේශපාලන පක්ෂවලට සහ ජනතාවට එම ගැටළු විසදා ගත හැකි වනු ඇති බවයි.
චීනය සහ ශ්‍රී ලංකාව මිත්‍රශීලී අසල්වාසී රටවල් වන අතර, ශ්‍රී ලංකාවේ වාතාවරණය පිළිබදව චීනය සමීප අවධානයෙන් පසුවන බවත් ඔහු කියා සිටියා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ෂුයෙවාන් ඔහු හමුවූයේ චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සුබ පැතුම් ද සමඟින්.
ඉන් අනතුරුව ඔහු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද මුණ ගැසුණා.
ඒ සම්බන්ධයෙන් බීජිං මාධ්‍ය හමුවේදී චීන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයා වෙත ප්‍රශ්නයක් ද යොමු කෙරුණා.
එහිදී ඔහු ප්‍රකාශ කළේ තානාපතිවරයා, රනිල් වික්‍රමසිංහ මෙන්ම නව අග්‍රාමාත්‍යවරයා ද හමුවී ද්වි පාර්ශවික සබඳතා පිළිබදව අදහස් හුවමාරුවක නිරත වූ බවයි.
මෙහිදී චීන රජය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හැදින්වීම එම පත්වීම නිළ වශයෙන් පිළිගැනීමක් වන බැවින් තීරණාත්මක ප්‍රකාශයක් බව ඉන්දීය මාධ්‍ය හැදින්වූවා.
මේ අතර, ඊයේ (29) අමාත්‍ය මණ්ඩල දිවුරුම්දීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙරට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවීම පිළිබඳව හින්දු වාර්තාකාරිනිය සටහනක් පළ කර තිබෙනවා.
ඇය කියා සිටියේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු දැකීම මෙරට සියයට 70ත්, 75ත් අතර පොදුජනතාව අපේක්ෂා කළ කරුණක් බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇති බවයි.