Gossips

ශ්‍රී ලංකාවට ජය

කලක පටන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සොයමින් සිටි රිද්මයට උත්තේජනයක් සපයන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද සමත්වුනා.
ඒ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ එංගලන්තය සමග පැවති අවසන් තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 219 කින් ජය ගනිමින්.
කලකට පසු මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ තුන් ඉරියව් දස්කම් දකින්නට මෙරට ක්‍රීඩා ලෝලීන්ට හැකිවුනා.
අද තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප්‍රේමදාස තනතිරුවේ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
කලකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ආරම්භයක් ලබාදුන් නිරෝෂන් දික්වැල්ල සහ සධීර සමරවික්‍රම පළමු කඩුල්ලට ලකුණු 137ක් එක්කලා.
ඒ අතරවාරයේ දික්වැල්ල සිය 8වන එක්දින අර්ධ ශතකය වාර්තා කල අතර සධීර සිය මංගල අර්ධ ශතකය වාර්තා කළා.
සධීර දැවී ගියේ ලකුණු 54ක් ලබා සිටියදී.
හොදින් පන්දුවට පහරදෙමින් සිටි දික්වැල්ල අවාසනාවන්ත ලෙස ලකුණු 95කට දැවී ගියා.
අනතුරුව චන්දිමාල් සමගින් පිටියේ එක්වුණේ කලක පටන් ප්‍රධාන පුහුණුකරුගේ සහ තේරීම් කමිටුවේ අනුකම්පාව නොඅඩුව ලබන කුසල් මෙන්ඩිස්.
ඉනිම 17කට පසු නායක දිනේෂ් චන්දිමාල් අද තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කළා.
දිගින් දිගටම අසාර්ථක වුනු කුසල් මෙන්ඩිස් මෙම තරගයේදී යලි සිය පිත්තේ ජවය සොයාගෙන තිබුනා.
එක්දින ඉනිම 23 කට පසු අර්ධ ශතකයක් වාර්තා කල ඔහු එය හතරේ පහරකින් සහ හයේ පහර 6කින් අලංකාර කළා.
කුසල් ලකුණු 56කට දැවී ගියේ ඔහු චන්දිමාල් සමග තුන්වන කඩුල්ලට ගොඩ නැගු ලකුණු 102ක සබඳතාවට නැවතීමේ තිත තබමින්.
අගනා ඉනිමක් ක්‍රීඩා කල චන්දිමාල් ලකුණු 80කට දැවී ගියා.
නියමිත පන්දුවාර 50 තුල ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 366ක් ලබා ගත්තේ කලකින් සවිමත් ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.
එය ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තයට එරෙහිව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර ඔවුන් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද වනවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි එංගලන්ත පිතිකරුවන්ට රිසිසේ ලකුණු ලබාගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.
මුළු ලකුණු සංඛ්‍යාව 28ක් වෙද්දී ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුන් සිව් දෙනෙකුම ක්‍රීඩාගාරයේ අසුන්ගෙන සිටියා.
මොයින් අලී සහ බෙන් ස්ටොක් අවමානයෙන් ගැලවීමේ සටනක නිරත වුවත් එයද අසාර්ථක වුනේ අලී ලකුණු 37කට දැවී යාමත් සමගයි.
අනතුරුව ස්ටොක් ලකුණු 67කට දැවී යාමත් සමග එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණ පිලිබඳ බලාපොරොත්තුව සිහිනයක්ම පමණක් වුනා.
පන්දුවාර 26යි පන්දුවකදී එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 132ක් ලබාගෙන සිටින විට තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුනා.
අනතුරුව විනිසුරුවන් තීරණය කලේ තරගයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලබා දෙන්නටයි.
කලකට පසු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ලද මෙම ජයග්‍රහණය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ හෙට දවසට සාධනීය උත්තේජනයක් වනු ඇති.
වැදගත්ම කරුණ වන්නේ ජයග්‍රාහී රිද්මය දිගටම රදවා ගන්නට ක්‍රීඩකයින් පුහුණුකරුවන් මෙන්ම බලධාරීන්ද කටයුතු කලයුතු වීමයි.
එය එසේම වුවහොත් එළබෙන ලෝක කුසලාන සිහිනය යතාර්ථයක් බවට පත්කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් අපහසු නොවනු ඇති.