Gossips

ශ්‍රී ලංකාවට ජපානයෙන් ණය නොවන ආධාර

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සහය ලබාදීමේදී සෑම අවස්ථාවකම ණය නොවන ආධාර ලබාදීමට කටයුතු කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ප්‍රකාශ කළා.
ඒ, මේ දිනවල ජපානයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (14) හමුවූ අවස්ථාවේදියි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්‍රියාවට නැංවීමට අදාල නව ගිවිසුමකට ද ජපාන ශ්‍රී ලංකා නියෝජිතයින් අත්සන් තබා තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට අඛණ්ඩව සහය ලබාදෙන බවයි ජපාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.
මීට අමතරව බලශක්ති උත්පාදනයට අවශ්‍ය තාක්ෂණික සහය මෙන්ම අධිවේගී මාර්ග පද්ධතියේ ඉදිකිරීම් සඳහා සහය ලබාදීමටද ජපානය කටයුතු කරනු ඇති.
ආරක්ෂක සහ නාවික කටයුතුවලදී ජපානය ශ්‍රී ලංකාවට ලබාදෙන සහය සිහිපත් කළ ජපාන අග්‍රාමාත්‍යවරයා ඉන්දීය සාගර කලාපයේ රටවල් අතුරින් ශ්‍රී ලංකාවට පමණක් එම සහය හිමිව ඇති බවද ප්‍රකාශ කර තිබෙනවා.