Gossips

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක සබඳතා වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් ඩෝනියර් වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දියාව කටයුතු කරනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.
ශ්‍රී ලංකාව පමණක් නොව අග්නිදිග ආසියාවේ සියළු රටවල් සමඟ සිය ආරක්ෂක සබඳතා ඉහළ නැංවීම ඉන්දියාවේ අරමුණ බවයි ටයිම්ස් නව් නිවුස් නැමැති ඉන්දීය වෙබ් මාධ්‍ය සඳහන් කළේ.
චීනයේ බලපෑම ව්‍යාප්ත වීම හේතුවෙන් ඉන්දියාව, ශ්‍රී ලංකාව සමඟ ඉහළ පෙලේ ආරක්ෂක සාකච්ඡා පැවැත්වීම ඉහළ නංවා ඇති අතර, බංග්ලාදේශය සමඟද නුදුරේදීම එවැනි සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාව වෙත ලබාදීමට අදහස් කරන ඩෝනියර් නිරීක්ෂණ යානය ජර්මනියේ බලපත්‍ර අයිතිය සහිතව ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලැබූවක්.
එමඟින් සමුද්‍ර සහ වෙරළාරක්ෂක නිරීක්ෂණ කටයුතු කාර්යක්ෂම කළ හැකි වනු ඇති.
ආරක්ෂක සබඳතා ඉහළ නැංවීමේ අරමුණෙන් ඉන්දියාව මිත්‍ර ශක්ති නමින් ඒකාබද්ධ නාවුක අභ්‍යාසයක්ද පසුගියදා පවත්වනු ලැබුවා.
ඊට අමතරව මෙරට ආරක්ෂක හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට බුද්ධගයාව සහ ලූම්බිණියේ සංචාරය කිරීම සඳහාද ඉන්දියාව ඇරයුම් කර තිබෙනවා.