Gossips

ශ්‍රී ලංකන් ගුවන් සේවය පුනර්ජීවනයට ලක් කිරීමට ජනපති කමිටුවෙන් නිර්දේශ

ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සහ ප්‍රාග්ධනය උත්පාදනය කිරීම මගින් ශ්‍රී ලංකා ගුවන් සේවය පුනර්ජීවනයකට ලක් කළ හැකි බව ජාතික ගුවන් සේවයේ ඉදිරිය පිළිබඳව අදහස් ලබාගැනීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව නිර්දේශ කර තිබෙනවා.
එම කමිටු වාර්තාව ඊයේ ජනාධිපතිවරයා වෙත භාරදුන් අතර, ආයතනය ඈවර කිරීම සහ නැවත ස්ථාපනය කිරීම, කළමනාකරණ ගිවිසුම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ප්‍රාග්ධන උත්පාදනය යන අංශ තුන පිළිබඳව එමඟින් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව සඳහන්.
ජාතික ගුවන් සමාගමේ ඉදිරි කටයුතු කිරීමට වඩා යෝග්‍ය වන්නේ එහි තුන්වන කරුණ වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ප්‍රාග්ධන උත්පාදනය මගින් බවයි එමඟින් යෝජනා කර ඇත්තේ.
එසේම ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ස්වාධීන අධ්‍යක්‍ෂ මණ්ඩලයක් සහ කළමනාකාරීත්වයක් හඳුනාගැනීම, ව්‍යාපෘති ආකෘති සංශෝධනය, මානව සම්පත් ප්‍රතිව්‍යුහගත කිරීම, ස්වාධීන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඉදිරිපත් කිරීම, සන්නාම ප්‍රවර්ධනයේදී සහයෝගීතාව පිළිබඳ සොයාබැලීම යන කරුණු පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව කමිටු වාර්තාවේ තවදුරටත් දැක්වෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවේ පසුගිය හත්වනදායි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර කිහිපය පුරාම විශාල අලාභයක් ලබා ඇති අතර, පසුගිය මාස 9 තුළ ලබාඇති පාඩුව රුපියල් බිලියන 40 කට අධිකයි.