Gossips

ශ්‍රී දේවිගේ වියෝවෙන් ඉන්දියාව කම්පා වෙයි

ප්‍රවීන බොලිවුඩ් සිනමා නිළි ශ්‍රීදේවිගේ හදිසි වියෝවෙන් ලොව පුරා සිනමා රසිකයන් දැඩි කම්පාවට පත්වී තිබෙනවා.
ඇය, ශ්‍රී ලාංකික සිනමා රසිකයන්ටද සමීප චරිතයක්.
හින්දි සිනමාවේ ප්‍රථම සුපිරි තාරකාව ලෙස සැළකෙන ප්‍රවීන බොලිවුඩ් සිනමා නිළි ශ්‍රීදේවි වයස අවුරුදු 54 ක්ව සිටියදී ඊයේ (24) අභාවප්‍රාප්ත වුණා.
ඒ, ඩුබායි හි පැවති මංගල්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා ගොස් සිටියදියි.
ඇය හදිසි හෘදයාබාධයකට ලක්වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
ඇය, 2016 වසරේ ආසියානු මාධ්‍ය ජාලය – කොළඹ නෙළුම් පොකුණ රඟහලේ සංවිධාන කළ හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සිනමා සම්මාන උළෙලටද සහභාගි වුණා.
එහිදී ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තයේ විශිෂ්ඨයන්ට තිළින ප්‍රදානය කිරීම සඳහා එක්වූ ශ්‍රී දේවි හිරුට තුති පුද කළා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී දේවිගේ අභාවය පිළිබඳව ශෝකය පළ කරමින් කියා සිටියේ ඇගේ රංගනයන් සදාතනිකව රසික හදවත් තුළ රැඳී පවතින බවයි.
ශ්‍රී දේවිගේ වියෝවෙන් මිලියන සංඛ්‍යාත සිනමා රසිකයන්ගේ හදවත් කම්පනයට පත්වී ඇති බව ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
මූන්ද්‍රම් පිරායි, ලම්හේ සහ ඉංග්ලිෂ් – විග්ලිෂ් වැනි චිත්‍රපටවල ඇගේ රංගනය අනෙකුත් සිනමා නළු නිළියන්ටද ආදර්ශයක් බව ඔහු සඳහන් කළා.
වයස අවුරුදු හතරේදී සිනමා තිරයට පිවිසි ශ්‍රීදේවි, බොලිවුඩ් සිනමාවේ සදාතනික නිර්මාණ ලෙස සැළකෙන මිස්ටර් ඉන්දියා, චාන්ද්නී, චාල්බාස්, සද්බා මෙන්ම නාගීනා ඇතුලු සිනමා චිත්‍රපට 150 කට වැඩි සංඛ්‍යාවකට රංගනෙයන් දායක වුණා.
ඇය, හින්දි මෙන්ම දෙමළ, මලයාලම්, තෙළිඟු සහ කර්නාටක සිනමා නිර්මාණවලටද එක්වී තිබෙනවා.
සිය රංගන කුසලතා හේතුවෙන් ඇය ඉන්දීය රජය විසින් පිරිනමන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවා.
ශ්‍රී දේවි, 2016 වසරේ ආසියානු මාධ්‍ය ජාලය – සංවිධාන කළ හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සිනමා සම්මාන උළෙලට සහභාගී වූ අයුරු පහතින්.