ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් අද (10) පැවැත්වෙන කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, ඊයේ (09) පැවැත්වුණු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී ගනු ලැබූ තීරණයකට අනුවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිළ නිවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රියේ රැස්වුණා.
පැය 04කට ආසන්න කාලයක් එම හමුව පැවති අතර, එහිදී නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ජාතික ආණ්ඩුව තුළ සිටින්නේ ද නැද්ද යන්න පිළිබදව දීර්ඝ වශයෙන් සංවාදයට බඳුන් වී තිබෙනවා.
නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට මධ්‍යම කාරක සභා රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා යෝජනා කර ඇති අතර, පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී. දිසානායක එය ස්ථීර කර ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
කෙසේ වෙතත්, ඒ පිළිබදව අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව යළි හෙට (11) රැස්වීමට නියමිතයි.
එතෙක් නිදහස් පක්ෂ අමාත්‍යවරුන් අද පැවැත්වෙන කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට තීරණය කර ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සමඟ තවදුරටත් ආණ්ඩුව තුළ කටයුතු කළ නොහැකි බවට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ද පසුගියදා ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණා.
ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදියි.