Gossips

වෛද්‍ය වර්ජනය අටට අවසන්

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කළ සංකේත වැඩවර්ජනය අද (18) පෙරවරු අටට අවසන් වනවා.
ඊයේ පෙරවරු අටට ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතුවලට බාධා එල්ල වීම නිසා රෝගීන් දැඩි අපහසුතාවයට පත්වුණා.
සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ලබන 22 වැනිදා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදීමට කටයුතු කර ඇති බවයි.
කෙසේ වෙතත්, රජය සිය ගැටලූවට විසඳුම් ලබාදීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩවර්ජනවලට එළැඹීමට සිදුවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කළා.
මේ අතර, සේවා ව්‍යවස්ථාව සම්පාදනය කිරීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 03 ක් මුල්කරගනිමින් ආගමන විගමන නිලධාරීන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.
මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් නියමිත වේලාවට පැය 3 කට පෙර ගුවන් තොටුපලට පැමිණෙන ලෙසයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගීන්ගෙන් ඉල්ලා සිටියේ.