Gossips

වෛද්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුමට එරෙහිව සහ තවත් ඉල්ලීම් 10 ක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන අටේ සිට දීප ව්‍යාප්තව ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා.
මේ හේතුවෙන් අද දිනයේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් ද අපහසුතාවයට පත්වූ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.
එමෙන්ම, දිවයිනේ සියලූම රෝහල්වල සායනික සහ බාහිර රෝගී අංශවල කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික ප්‍රසාද් කොළඹගේ ප්‍රකාශ කළා.
නව දේශීය ආදායම් පනත හරහා විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් වෙත පනවා ඇති අධික බදු ප්‍රතිශතයට විරෝධය පා අද දිනයේ පෞද්ගලික වෛද්‍ය සේවයෙන් ඉවත්වීමටද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කළ බවයි එහි සභාපති විශේෂඥ වෛද්‍ය එස්.ආර්.විජේසිංහ සඳහන් කළේ.
මේ අතර, කොළඹ ජාතික රෝහලේ ද වෛද්‍ය වර්ජනය හේතුවෙන් බාහිර රෝගී අංශයේ වැඩකටයුතු අඩාල වී තිබෙනවා.
කෙසේ වෙතත්, එහි අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ කියා සිටියේ හදිසි ප්‍රතිකාර කටයුතු සිදුවන බවයි.
කළුබෝවිල ශික්ෂණ රෝහලේ ද අද වෛද්‍ය වර්ජනය හේතුවෙන් වැඩ කටයුතුවලට බාධා එල්ල වී තිබුණා.
එමෙන්ම, වෛද්‍ය වර්ජනය හේතුවෙන් වතුකරයේ පිහිටි රෝහලේ ගණනාවකම බාහිර රෝගී අංශ වසා දමා තිබූ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.
මාතර මූලික රෝහලේ ද වෛද්‍ය වර්ජනය හේතුවෙන් සායනික සහ බාහිර රෝගී අංශවල වැඩකටයුතු සිදුකෙරුණේ නැහැ.
කෙසේ වෙතත්, රෝහල් වාට්ටුවල සහ ශල්‍යාගාරවල වැඩකටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවයි මාතර මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය එම්.ඩබ්ලිව්.එම්.කේ. මැදිවක සඳහන් කළේ.
එමෙන්ම, මහනුවර මහරෝහලේ ද සායනික සහ බාහිර රෝගී අංශ වල වැඩකටයුතු වලට බාධා එල්ල වූ බවයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.එම්.එස්.කේ. රත්නායක කියා සිටියේ.
මේ අතර, වෛද්‍ය වර්ජනය හේතුවෙන් උතුර පළාතේ රෝහල් වල ද වැඩකටයුතුවලට බාධා එල්ල වී තිබුණා.
වව්නියාව මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ.අකිලේන්ද්‍රන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ බාහිර රෝගී අංශයෙන් ඩෙංගු උණ රෝගීන් සඳහා ප්‍රතිකාර කටයුතු සිදුකෙරෙන බවයි.
මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වර්ජනය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එය මහජනතාව නොමග යවන සුළු හේතු පාඨ කරමින් සිදුකරන වර්ජනයක් බවයි.
මෙම වැඩවර්ජනය මහජනතාව ගැන සිතා සිදුකරන්නක් නොවන අතර, වෛද්‍යවරුන් මත පනවා ඇති වැට් බදු පිලිබඳ එම සංගමය දක්වන අදහස් සාවද්‍ය බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දියත් කළ වර්ජනය හේතුවෙන් පීඩාවට පත්වූ අද දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල් වෙත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් කියා සිටියේ වර්ජනය හේතුවෙන් තමන් දුෂ්කරතාවලට මුහුණ දුන් බවයි.