Gossips

වෛද්‍යවරුන්ට සාකච්ඡාවක් – වර්ජනය අඛන්ඩව

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙලද ගිවිසුමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.
වර්ජනය හේතුවෙන් සායනික සහ බාහිර රෝගී අංශවල කටයුතු අඩාල වී ඇති අතර, ශල්‍යකර්ම, හදිසි සේවා මෙන්ම අනෙකුත් සේවාවන් සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
අද උදෑසන අටට ආරම්භ කෙරුණු මෙම වර්ජනය හෙට පෙරවරු අට දක්වා ක්‍රියාත්මක අතර, ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දහවල් මාධ්‍ය හමුවක් ද කැඳවා තිබුණා.
ඊට තවත් වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් එක්ව සිටියා.
මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය වර්ජනය සම්බන්ධයෙන් සහ සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
එහිදී ලේකම්වරයා ප්‍රකාශ කළේ අදාළ ගැටලූ සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ලබන 22 වැනිදා ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබාදී ඇති බවයි.