Gossips

වේගවත්ම මලල ක්‍රීඩකයා ක්‍රීඩා දිවියෙන් සමු ගැනීමට තීරණය කරයි

වර්තමානයේ මෙරට සිටින වේගවත්ම මලල ක්‍රීඩකයා සිය ක්‍රීඩා දිවියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ, මෙරට ක්‍රීඩාවේ නාමයෙන් වැජඹෙන බලධාරී පැලැන්තියේ නොසැලකිල්ල හේතුවෙන්.
අද රෙඩ් කාඩ් වෙන්වන්නේ මලල ක්‍රීඩාවේ හෙට දවස පැහැබර කිරීමට සිටින ක්‍රීඩකයෙකුගේ හෙට දවස වෙනුවෙන්.
විනොජ් සුරන්ජය ද සිල්වා, වර්තමානයේ ශ්‍රී ලංකාවේ මීටර් 100 සහ මීටර් 200 ජාතික ශුරයායි.
වසර නවයක් තරම් වූ කෙටි ඉතිහාසයකට දිව යන සුරන්ජයගේ මලල ක්‍රීඩා දිවිය තුල ඔහු ශ්‍රී ලංකා මාතාව ජාත්‍යන්තරයේ බැබලවූ අවස්ථා සුළුපටු නොවේ.
සුරන්ජය පිළිබඳව බොහෝ දෙනා කතා කරන්නට පටන්ගත්තේ මේ වසර මුලදී සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති ආසියානු මලල ක්‍රීඩා තේරීම් තරගාවලියෙන් පසුවයි.
එහිදී වසර 20ක් පුරාවට සුගත් තිලකරත්න තමන් සන්තකයේ තබාගෙන සිටි මීටර් 200 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව සිය නම ඉදිරියේ ලියා ගන්නට මේ ජවාධිකයා සමත් වුනා.
නමුත් දෛවයේ සරදමකට දෝ සුරන්ජය ඉන් අනතුරුව ඩෙංගු රෝගයට ගොදුරු වනවා.
මාස පහක් පුරාවට ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක නිරත් වෙද්දී ක්‍රීඩා බලධාරීන් ඒ දෙස නොදුටු දෑසින් පසුවුණා.
මෙරට මලල ක්‍රීඩකයෙකුගේ හෙට දවස පිලිබඳ දෙවරක් සිතන්නට එම කාලය සුරන්ජයට උපකාරී වුවත් සුව වූ සැනින් ඔහු තීරණය කලේ යලි සිය දෙපයේ සවිය උරගා බලන්නටයි.
ඒ අනුව සුරන්ජය පසුගියදා නිමා වුනු 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මීටර් 100 මීටර් 200 සහ මීටර් 100⤨4 සහය ඉසව්වේ රන් පදක්කම් සිය ගෙල දැරුවේ තවමත් කෙටි දුර ධාවන ඉසව් වලදී තමන්ට මෙරටදී අභියෝගයක් නොමැති බව පසක් කරමින්.
මෙරට බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පොදු වූ ගැටළුවක් මේ දිනවල සුරන්ජයගේ හෙට දවසට බලපෑම් එල්ල කරමින් තිබෙනවා.
ඒ ක්‍රීඩාවට පිළිලයක් බඳුවූ නිලධාරිවාදයයි.
මෙරට බොහෝ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම සුරන්ජන්ටත් ඇත්තේ සිය දෙපයේ සවියට අමතරව සිතේ සවිය පමණයි.
ඒ නිසාම ඔහුත් රට වෙනුවෙන් සිය වගකීම ඉටු කරන්නන්ට බලධාරීන්ගේ නොසලකා හැරීම් මායිම් කලේ නැහැ.
නමුත් කනගාටුවට කරුණ වන්නේ එයම දඩ මීමා කරගන්නා මෙරට ක්‍රීඩාව කරවන බලධාරීන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පැහැබර අනාගතය සමගින් සෙල්ලම් කිරීම ඉදිරියටත් ජයටම සිදුකරගෙන යාමයි.