Gossips

වෙසක් කූඩු සහ බකට් නිෂ්පාදකයින්ගෙන් මැසිවිලි

වෙසක් පොහොය වෙනුවෙන් බෞද්ධ ජනතාව සිය නිවෙස්වල වෙසක් කූඩු සහ බකට් දැල්වීම සිදුකරනු ලබනවා.
එහෙත් මේ වන විට දේශීය බකට් සහ වෙසක් කූඩු නිෂ්පාදනය අභාවයට යමින් පවතින්නේ ඒ සඳහා වන ඉල්ලූම පහත වැටීම හේතුවෙන්.
විදේශීය රටවලින් මෙරටට ආනයනය කරන විවිධ වර්ගයේ බකට් සහ වෙසක් කූඩු මේ වන විට වෙළදපොළේ වැඩි වශයෙන් අලෙවි වනවා.
මේ හේතුවෙන් තම නිෂ්පාදන සඳහා ඉල්ලූමක් නොමැති වී ඇති බවයි දේශීය බකට් සහ වෙසක් කූඩු නිෂ්පාදකයින් පවසන්නේ.
වසර ගණනක සිට මෙම කර්මාන්තය පැවතුණත් මේ වන විට බලපිටිය, අහුන්ගල්ල, නෙල්ලිගොඩ යන ප්‍රදේශවල මෙම නිෂ්පාදන සිදුවන්නේ ඉතා අල්ප වශයෙන්.
දේශීය බකට් සහ වෙසක් කූඩු නිෂ්පාදනය සඳහා විදේශීය රටවලින් ආනයනය කරන අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම ද මීට එක් හේතුවක් වනවා.
තම කර්මාන්තය සඳහා බලධාරීන්ගේ අවදානය මේ වන විටත් යොමුව නොමැති බවයි දේශීය බකට් සහ වෙසක් කූඩු නිෂ්පාදකයින් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.