Gossips

වෙනිසියුලාවේ සිවිල් යුද්ධයක් ඇති විය හැකි බවට මධුරෝ අනතුරු අඟවයි

වෙනිසියුලාවේ සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව එරට ජනාධිපති නිකලස් මධුරෝ පවසනවා.
විපක්ෂ නායක හුවාන් ගුවයිඩෝ, තමා අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඇති වූ වෙනිසියුලානු දේශපාලන අර්බුදය දැන් එළඹ ඇත්තේ උණුසුම් අදියරයකටයි.
ජනාධිපති මධූරෝට ඉල්ලා අස්වන ලෙස ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් දැඩි පීඩනයක් එල්ල වන අතර, ඒ සම්බන්ධයෙන් ඔහු රූපවාහිනිය ඔස්සේ ප්‍රතිචාර දක්වා සිටියා.
ජනාධිපති මධූරෝ සඳහන් කළේ වෙනිසියුලාවට මැදිහත්වුවහොත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුධිරය තැවරුණු දෑතින්, ධවල මන්දිරයෙන් නික්මීමට සිදුවනු ඇති බවයි.
මේ අතර, නව මැතිවරණයක් කැදවන ලෙස ලබාදී තිබූ කාල විරාමය ඉකුත්වීමත් සමඟ විපක්ෂ නායක හුවාන් ගුවයිඩෝ, වෙනිසියුලාවේ නායකයා ලෙස පිළිගැනීමට එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය ඇතුළු අනෙකුත් යුරෝපා රටවල් අද තීරණය කළා.