Gossips

වෙන්නප්පුවේදී අනතුරට ලක්වූ මෝටර් රථයෙන් පිස්තෝලයක් හමුවෙයි

හයදෙනෙකුට මරු කැඳවූ වෙන්නප්පුවේ රිය අනතුරෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් තුන්දෙනාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
ඉන් දෙදෙනෙකු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර, අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවනු ලැබුවා.
ඔහු මේ වනවිට එහි එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
අද අලූයම 3.15 ට පමණ මෙම අනතුර සිදුවූයේ වෙන්නප්පුව – නයිනමඩම පාලම අසළදියි.
හලාවත දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දිශාවටම ධාවනයවූ මාළු ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.
ඉන් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයන් හයදෙනෙකු එම ස්ථානයේදීම මියගිය අතර, තුන්දෙනෙකු බරපතල තුවාල ලැබුවා.
මෝටර් රථයේ පැමිණි එක් අයෙකු ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, අනෙකුත් සියලූම පුද්ගලයන් වෙන්නප්පුව ප්‍රදේශයේම පදිංචිකරුවන්.
ඔවුන් වයස අවුරුදු 18ත් 36 ත් අතර වයස් සීමාවල අය බවයි පොලීසිය සඳහන් කළේ.
ඊයේ රාත්‍රියේ මොවුන් සිය නිවෙස්වලින් පිටතට ගොස් ඇත්තේ වයික්කාල ප්‍රදේශයේ පැවති මංගල උත්සවයක් සඳහා සහභාගිවීමටයි.
එය අවසන් වී අද අලූයම මෙලෙස යලි පැමිණෙමින් සිටියදී අනතුරට ලක්ව ඇති බව සඳහන්.
මෝටර් රථය පැදවූ පුද්ගලයා බීමතින් සිටියේද යන්න පිළිබඳව සැක මතුව ඇති අතර, පොලීසිය ප්‍රකාශ කළේ මෝටර් රථයට සිදුව ඇති හානිය පිළිබඳ විමසා බැලීමේදී අනතුර සිදුවන අවස්ථාවේ එය පැයට කිලෝමීටර 100 කට අධික වේගයකින් ධාවනය කර ඇති බවට අනුමාන කෙරෙන බවයි.
අනතුරට ලක්වූ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී ස්වයංක්‍රීය ගිනි අවියක් සහ උණ්ඩ කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.
පොලීසිය පවසන්නේ අනතුරට ලක්වූ මෝටර් රථයේ පිටුපස එක් දොරක් ආසන්නයේ සඟවා තිබූ මෙම ගිනි අවියට මිලිමීටර අටේ උණ්ඩ භාවිත කළ හැකියි.
එමෙන්ම එය ඉතාලියේ නිෂ්පාදිත ගිනි අවියක් බවට තහවුරු වී තිබෙනවා.
එහි හිමිකාරිත්වය සහ ගිනි අවිය ළඟ තබාගැනීමට හේතුව පිළිබඳව විමර්ශනයක් සිදුකරන බව වෙන්නප්පුව පොලීසියේ උසස් නිලධාරියෙකු අප කළ විමසීමකදී කියා සිටියා.
මේ අතර ගාල්ල – අක්මීමන ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ ලොරියක් එකිනෙක ගැටීමෙන් අද සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තිබෙනවා.