Gossips

වෙනස්ම ලෝකයක් සොයා තහනම් දූපතට ගිය තරුණයාට ගොඩබිමට පය තබනකොටම හී සර වරුසාවක්

අන්දමන් දූපත්හිදී වෙනත් පුද්ගලයන්ට තහනම් කර ඇති උතුරු සෙන්ටිනල් දූපතට ගිය තරුණයෙකු මිය යාම පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඇමෙරිකානු ජාතික 27 හැවිරිදි ජෝන් ඇලන් චාඌ නමැති ගවේෂක තරුණයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඔහු ක්‍රිස්තියානි ධර්ම දූත සේවයේ නිරතව සිටි අයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම තරුණයා මියගොස් ඇත්තේ එම දූපත් හි වාසය කරන ආදි වාසීන්ගේ ප්‍රහාරයකට ලක්වීමෙන් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
චාඌ මියගොස් ඇති දූපත් ආසන්නයේ ධීවර කටයුතුවල නිරත පුද්ගලයන් ප්‍රකාශ කර ඇත්තේ ඔහු දූපතට ගොඩ බැසීමෙන් පසු දුනු ඊතල ප්‍රහාරයකට ලක්ව ඇති බවයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකරන්නේ චාඌ ධීවරයන් පිරිසකට නීතිවිරෝධී ලෙස මුදල් ලබාදෙමින් මෙලෙස එම දූපතට ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් අදාළ ඝාතනයෙන් අනතුරුව ධීවරයන් 7 දෙනෙකු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ජෝන් චාඌ සෙන්ටිනල් දූපතට මීට පෙරද කිහිප වරක් ම ගොස් ඇති බවටද මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
මෙවර ඔහු දූපතට ගොස් ඇත්තේ එම දූපත් වැසියන්ට ලබාදීමට කුඩා පාපන්දුවක්, බිලී පිතිවලට භාවිත කරන නූලක් සහ කතුරක් ආදී ත්‍යාග කිහිපයක්
ද සමඟ බවටයි තොරතුරු හෙළිව ඇත්තේ.
වසර 60,000ක් පමණ කාලයක් තිස්සේ මෙම දූපතේ වෙසෙන ගෝත්‍රික වැසියන් හුදෙකලාව වෙසෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එම දූපතේ ආසන්න වශයෙන් වැසියන් 150 ක් පමණ වාසය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර එම තරුණයාගේ ඝාතනයෙන් අනතුරුව ඔහුගේ ඥාතීන් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දක්වෙන්නේ අදාළ ඝාතනයෙන් අනතුරුව අත්අඩංගුවට ගත් ධීවරයන් 7 දෙනා නිදහස් කරන ලෙසත් මෙම ඝාතනය සිදුකර බවට පැවසෙන ගෝත්‍රික වැසියන්ට සමාව දෙන ලෙසයි.
ජෝන් ඇලන් චාඌ නමැති තරුණයා වීර ක්‍රියාවල නිරත වීමට කැමැත්තක් දැක්වූ අයෙකු බවටයි සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු මීට පෙර තැබූ සටහන් සහ සම්මුඛ සාකච්ඡා මගින් අනාවරණ වන්නේ.