Gossips

වෙඩි වැදුණු දීගජන්තුට ප්‍රතිකාර (ඡායාරූප)

අනුරාධපුර – කලාවැව වැව් රක්ෂිතයේ වාසය කරන දීගජන්තු නැමති ඇතාට වෙඩි වැදී ඇති බව වනජීවී අඩවි ආරක්ෂක නිලධාරීන් පවසනවා.
පෙරේදා (11) දිනයේ කලාවැවේ ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු, වෙඩි වැදුණු ඇතෙකු සිටින බවට සිදුකළ දැනුම්දීමට අනුව මෙම ඇතා සොයාගත් බවයි එම නිලධාරීන් කියා සිටියේ.
පසුව ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් පැමිණ මෙම ඇතා පරීක්ෂා කිරීමේදී ඉදිරිපස වම් පාදයට වෙඩි වැදී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව ඊයේ (12) උදෑසන ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා එම ස්ථානයට යමින් තිබූ වනජීවි පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් රැගත් ඔරුවක් කලාවැව මත දී දැඩි රළ පහරට හසුව පෙරළී ගොස් තිබුණා.
පසුව එම ඔරුවේ සිටි පිරිස බේරා ගැනීමට ගිය තවත් ඔරුවක් ද පෙරළී ගොස් ඇති අතර, ඔරු දෙකේම සිටි පුද්ගලයින් බේරාගෙන ඇත්තේ ඔලොම්බෑව ප්‍රදේශයේ ධීවර කර්මාන්තයේ නිරත තරුණයන් පිරිසක් විසින්.
කෙසේ වෙතත්, වෙඩි වැදුණු මෙම ඇතාට ප්‍රතිකාර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර එම සත්ත්වයා වනජීවී නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ වැව් රක්ෂිතයේ සැරිසරන බවයි කලාවැව වනජීවී අඩවි ආරක්ෂක නිලධාරී ඩී.රාමසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ඡායාරූප – කුෂාන් ජයවර්ධන