Gossips

වෙඩි වැදුණු කිරිවෙහෙර විහාරාධිපති හිමියන් කොළඹ පෞද්ගලික රෝහලකට (ඡායාරූප)

කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තබා ඇත්තේ මහසෙන් දේවාලයේ හිටපු කපු මහතෙකු බවට විහාරවාසී පූජ්‍ය තලගල ඥානේන්ද්‍ර හිමියන් චෝදනා කරනවා.
මේ අතර සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන ඔහු මේ වනවිට ප්‍රදේශය අතහැර පලාගොස් ඇති අතර, ඔහුගේ නිවසේ තිබී ආයුධ කිහිපයක් සහ පතොරම් කිහිපයක්ද සොයාගත් බවයි පොලීසිය කියා සිටියේ.
එමෙන්ම සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් දෙදෙනෙකුගෙන් පොලීසිය අද දහවල් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත හම්බන්තොට මහ රෝහලේ සිට ගුවන් මගින් කොළඹට වැඩම කරවූ කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් අද පස්වරුවේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණා.
වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව උන්වහන්සේ හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී ශල්‍යකර්මයකටද භාජනය කළ බවයි රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ධනුෂ්ක පෙරේරා සඳහන් කළේ.
උන්වහන්සේගේ උදර ප්‍රදේශයට වෙඩි ප්‍රහාර 5 ක් පමණ එල්ලවී තිබෙනවා.
මීට අමතරව ධම්මින්ද හිමියන්ගේ වම් අතට සහ දකුණු පාදයටද තුවාල සිදුව ඇති බවයි රෝහල් අධ්‍යක්‍ෂවරයා කියා සිටියේ.
ඊයේ රාත්‍රියේ නාහිමියන් සහ විහාරවාසී පූජ්‍ය වීදාපොල සෝභිත හිමියන්, සුපුරුදු පරිදි ආගමික වතාවත්වල නිරත වී කිරිවෙහෙර උඩ මළුවේ සිට පහත මළුවට වැඩම කරමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණා.
පහත මළුවේ සැඟව සිටි නාඳුනන පුද්ගලයින් තුන්දෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර කිරිවෙහෙර ආසන්නයේ නවතා තිබූ රතු පැහැති ජීප් රථයක නැගී පළා ගොස් තිබෙනවා.
වෙඩි තැබීම සඳහා ඔවුන් පැමිණි යූ.පී. සී.ඒ.ජී. 8531 දරණ සුඛෝපභෝගී ජීප් රථය කතරගම පුද බිම ආසන්නයේ දමා ගොස් තිබියදී සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 8 ක් පත්කර තිබෙනවා.
වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කතරගම – කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරවාසී පූජ්‍ය තලගල ඥානේන්ද්‍ර හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ හම්බන්තොට මහ රෝහලේ ආරක්ෂාව නොමැතිවීම සහ වැඩිදුුර ප්‍රතිකාර සඳහාා විහාරාධිපති හිමියන් කොළඹට රැගෙන ආ බවයි.
මේ අතර, මත්තේගොඩ පොලිස් ස්ථානයේ අද පැවති උත්සවයකට එක්වෙමින් පොලිස්පති පූජිත් ජයසුන්දර කියා සිටියේ මෙම වෙඩි තැබීම පිටුපස පාතාල ක්‍රියාකාරකමක් නොමැති බවයි.





ඡායාරූප – සූරියවැව නුවන් ජයසේකර / අම්බලන්තොට අජිත් පුෂ්පකුමාර