Gossips

වෙඩි වැදී කොස්තාපල්වරයෙකු මියගිය සිද්ධියට සිවිල් ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

ගිනි අවිය අත්වැරදීමකින් ක්‍රියාත්මක වීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්වීමට අදාළව ගිනි අවිය භාරව සිටි සිවිල් ආරක්ෂක නිලධාරියා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රී 11.30 ත් 12.30 ත් අතර කාලයේදී හොරොව්පතාන වාගොල්ලාගොඩ ප්‍රදේශයේදීයි සිවිල් ආරක්ෂක බලකා නිලධාරියාගේ ගිනි අවිය අත්වැරදීමෙන් ක්‍රියාත්මක වී තිබුනේ.
එහිදී මරණයට පත්වුයේ ඉහළ දිවුල්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි කොස්තාපල්වරයෙක්.
සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු හෙට කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අප වාර්තාකරුවන් සඳහන් කළේ ඊයේ රාත්‍රී පොලිස් කොස්තාපල්වරයා සහ සිවිල් ආරක්ෂක බලකා නිලධාරියා වාගොල්ලාගොඩ ප්‍රදේශයේ කළ මුර සංචාරයක් අතරතුර ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති බවයි.
ප්‍රදේශයේ වැලි කැණීම් සම්බන්ධයෙන් සිදුවන වංචා පිළිබඳ සොයා බැලීම සඳහා වාගොල්ලාගොඩ ප්‍රදේශයේ පිහිටවු තාවකාලික පොලිස් මුරපොලකට අනුයුක්තව ඔවුන් දෙදෙනා සේවය කර තිබෙනවා.
එහිදී මුරපොළ පිටුපස කැලෑබද ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයකදී ගිනි අවිය ක්‍රියාත්මක වී කොස්තාපල්වරයාට වෙඩි වැදී ඇතැයි සඳහන්.
තුවාල ලැබු නිලධාරියා හොරොව්පතාන රොහලට ඇතුලත් කිරීමට රැගෙන යාමේදී අතරමගදී මියගොස් තිබෙනවා.
හොරොව්පතාන පොලිසියයි වැඩිදුර විමර්ශණ මෙහෙයවන්නේ.