Gossips

වෙඩි නොවදින සුපිරි මෝටර් රථ 08ක් නාවික හමුදාව මුහුදුබත් කරයි

පසුගිය යුද සමයේදී ජනාධිපතිවරුන්ට ආරක්ෂාව වෙනුවෙන් ආනයනය කරන ලද වෙඩි නොවදින සුපිරි මෝටර් රථ සහ ජීප් රථ ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කිරීම අද (26) පෙරවරුවේ සිදුකෙරුණා.
මෝටර් රථ 08 යාත්‍රාවක් ආධාරයෙන් රැගෙන ගොස් බටහිර ප්‍රදේශයේ ගැඹුරු මුහුදේදී මෙලෙස ගිල්වා විනාශ කළ බවයි නාවික හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් කේ.කේ.සී. උදයංග හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
මෙම රථවල සවිකර තිබූ සන්නිවේදන උපාංග සහ වෙනත් වටිනා උපකරණ ගලවා ඉවත් කර ඇති අතර, වසර ගණනාවක් පැරණි මෙම රථ අලුත්වැඩියා කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීම හේතුවෙනුයි මෙලෙස මුහුදේ ගිල්වා විනාශ කර දැමීමට රජය තීරණය කර ඇත්තේ.
මෙම වෙඩි නොවදින මෝටර් රථ වෙන්දේසි කළ නොහැකි අතර, මෙලෙස වාහන ගිල්වා විනාශ කිරීම ලෝකයේ පිළිගත් නිතියක් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.
ජනාධිපති කාර්යාලය මගින් නාවික හමුදාව වෙත මෙම මෝටර් රථ 08 ලබාදී ඇති අතර, ඊට ඇමරිකානු, බ්‍රිතාන්‍ය, රුසියානු සහ ඉන්දීය තානාපති නිලධාරින් භාවිත කළ වෙඩි නොවදින වාහනද ඇතුළත්.
මීට අමතරව එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව තිබූ වෙලින් නෞකාවද ඉදිරියේදී මුහුදේ ගිල්වා දැමීමට නියමිතයි.
මෙම නෞකාව වෙන්දේසි කිරීම සඳහා මිල ගණන් කැඳවූ නමුත් එම හැම අවස්ථාවකම ඊට හිමිවී ඇත්තේ අඩු ලන්සුවක්.
පසුගිය කාලසීමාව තුළ මෙම නෞකාව නාවික හමුදාව විසින් භාවිත කළ අතර, මේ වනවිට එය භාවිතයට ගත නොහැකි තත්ත්වයක පවතින බවයි නාවික හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේ.