Gossips

වී අලෙවියේදී සිදුවූ අලාභයක් ගැන කෝප් වාර්තාවෙන් හෙළිවෙයි

2016 වසරේදී වී අලෙවි මණ්ඩලය සතු වී තොගයක් සත්ව ආහාර සඳහා පෞද්ගලික සමාගම් වෙත අලෙවි කිරීමේදී රුපියල් මිලියන 2487 කට අධික අලාභයක් සිදුව ඇති බවට අනාවරණය වී තිබෙනවා.
ඒ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු කෝප් කමිටු වාර්තාව මගින්.
2017 වසරේ ජුලි 1 වැනිදා සිට එම වසරේ සැප්තැම්බර් 30 වැනිදා දක්වා වූ කාලසීමාව තුළ රාජ්‍ය ආයතන 17 ක් සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදුකළ විමර්ශනයේ වාර්තාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
වී අලෙවි මණ්ඩලය සත්ව ආහාර සඳහා වී අලෙවි කිරීම සම්බන්ධයෙන් එහි විශේෂ අනාවරණයක් සිදුකර තිබෙනවා.
2014/2015 මහ කන්නයේ සහ 2015 යල කන්නයේ කිලෝග්‍රෑමයක් රුපියල් 45 බැගින් මිලදී ගත් නාඩු වී තොගයක් අදාළ මිලටම විකිණීමේ හැකියාව තිබියදී 2016 වසරේදී කිලෝග්‍රෑමයක් රුපියල් 24 බැගින් සත්ව ආහාර සඳහා පෞද්ගලික සමාගම් වෙත අලෙවිකර තිබෙනවා.
එමගින් මණ්ඩලයට සිදුව ඇති අලාභය රුපියල් මිලියන 2487.7 ක්.
කෙසේ වෙතත් එම තොග අතර මිනිස් පරිභෝජනයට සුදුසු වී තොගද තිබී ඇති අතර මේ සම්බන්ධයෙන් කෝප් කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සහ මණ්ඩලයේ සභාපතිවරයාගෙන් විමසීමක් කර තිබෙනවා.
ගබඩා පහසුකම් ලබාගැනීමට ඉහත වී විකිණීම සිදුකර ඇති බවත් එහිදී සුදුසු, නුසුදුසු තත්ත්වය නොසලකා වී තොග නිකුත් කිරීම සිදුකර ඇති බවත් කෝප් කමිටුවට අනාවරණය වී තිබෙනවා.
මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙරටට ගෙන්වන ලද මතභේදයට තුඩු දී ඇති හර්ටිකැඩ් (Herticad) පිළිකා ඖෂධය සම්බන්ධයෙන්ද කෝප් කමිටු වාර්තාව මගින් කරුණු අනාවරණය කර තිබෙනවා.
යම් ඖෂධයක් ලියාපදිංචි කිරීමේදී ඊට අදාළ ලියාපදිංචි සහතිකය බොහෝ රටවල නිකුත් කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් මගින් වන නමුත් අදාළ ඖෂධය සඳහා මෙම සහතිකය නිකුත් කර ඇත්තේ රුසියාවේ කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශයයි.
අදාළ ඖෂධය ගෙන්වීමේ ටෙන්ඩරය කැබිනට් ටෙන්ඩරයක් බැවින් ඒ සඳහා තාක්ෂණීක කමිටු අනුමැතියද ලබාගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනම අංශයක් මගින්.
කෙසේ වෙතත් අදාළ ඖෂධය ගෙන්වීමට පිළිකා වෛද්‍යවරුන්ගේ සංගමය විරුද්ධත්වය පළ කර ඇත්තේ හර්ටිකැඩ් නම් ඖෂධය තාක්ෂණික කමිටු කිහිපයකදීම නුසුදුසු බව ප්‍රකාශ කර ඇති බැවින්.
ඖෂධය මෙරටට ගෙන්වීමේදී පිළිකා වෛද්‍යවරුන්ගේ සංගමයේ එම මතය නොසැලකා හැර ඇති බවද කෝප් කමිටු වාර්තාවේ සඳහන්.
හර්ටිකැඩ් නම් මෙම ඖෂධය රුසියාවේ රෝගීන් 44 දෙනෙකුට ලබාදී ඉන් 5 දෙනෙකු මියයාමත් හේතුකොටගෙන එම සංගමය මෙම ඖෂධයට විරුද්ධත්වය පළ කර ඇති අතර ඔවුන් පවසා ඇත්තේ පියයුරු පිළිකා රෝගය පැතිරුණු රෝගීන්ට ලබාදෙන මෙම ඖෂධය මූලික අවස්ථාවේ පියයුරු පිළිකා රෝගීන්ට දීමට සිදුවීමද හානිදායක බවයි.
නමුත් වෛද්‍යවරු කොටසක් මෙම ඖෂධය රෝගීන්ට ලබාදෙන බවත් එසේ ලබා නොදෙන වෛද්‍යවරුන් සඳහා විනය පරීක්ෂණවලට මුහුණ පෑමට සිදුවන බවත් පිළිකා වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනිය කෝප් කමිටුවට අනාවරණය කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන්ද මෙම කෝප් කමිටු වාර්තාව මගින් කරුණු අනාවරණය කර ඇති අතර ඒ පිළිබඳ අද පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ වුණා.