වීසා නොමැතිව ලෙබනන් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 53 දෙනෙකු පොදු සමාව මත අද දිවයිනට ළගාවුනා.
අප ගුවන්තොටුපල වාර්තාකරුවන් සඳහන් කළේ උදෑසන 9.50 කුවේට් ගුවන් සේවයේ යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණි බවයි.
ගෘහ සේවිකාවන් ලෙසට රැකියා කිරීමට විධිමත් වීසා නොමැතිව සිටි මෙම කාන්තාවන් ලෙබනන් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබු පොදු සමා කාලය ප්‍රයෝජනයට ගනිමින් එරටින් පිටවී තිබෙනවා.
ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යංශය ඒ සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබුනා.
මෙලෙස පැමිණි ලාංකික කාන්තාවන් ඔවුන්ගේ නිවෙස් වෙත යැවීමට ගුවන්තොටුපලේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ බලධාරීන් කටයුතු කළ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
මෙම පිරිස අතර අනුරාධපුර, හලාවත, මීගමුව, මාතර සහ ගාල්ල ඇතුලු ප්‍රදේශ කිහිපයකින් විදෙස්ගත වූ කාන්තාවන් වනවා.
