Gossips

විසිරවීමට මාස 03ක් තිබියදී මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරු, රට සවාරියකට සැරසේ

නිල කාලය අවසන් වීමට මාස තුනක් වැනි කෙටි කාලයක් තිබියදී මධ්‍යම පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මලයාසියාවේ සංචාරයකට සූදානම් වනවා.
පුහුණුවක් සඳහා යැයි පවසමින් එහි මුල් කණ්ඩායම අද (17) හෝ හෙට (18) දිවයිනෙන් පිටත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
සංචාරය සඳහා පුද්ගලයෙකුට දළ වශයෙන් රුපියල් ලක්ෂ 05ක පමණ මුදලක් වැය වන බවත්, මන්ත්‍රීවරුන්ට අමතරව පළාත් සභාවේ නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙම සංචාරයට එක්වීමට නියමිත බව හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයා බැලීමකදී හෙලි වුණා.
මීට පෙර විශාල මුදලක් වැය කරමින් මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් රුසියාවේ සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබුණ ද මාධ්‍ය මගින් කරුණු හෙලි කිරීමෙන් පසු එය අත්හිටුවනු ලැබුවේ ජනාධිපතිවරයා විසින්.
මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ද සහභාගි වීමට නියමිත බවට වාර්තා වුණා.
ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂගෙන් විමසා සිටි අතර ඔහු කියා සිටියේ ඒ පිළිබදව තමන් දැනුවත් නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ඇමතුව ද ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වූයේ පළාත් සභා රැස්වීමට සහභාගි වි සිටීම හේතුවෙන්.
අනතුරුව මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පළාත් ප්‍රධාන ලේකම් සරත් ප්‍රේමවංශ සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළ නමුත් ඔහු රාජකාරි කටයුත්තකට පිටත්ව ගොස් තිබීම හේතුවෙන් එය ව්‍යර්ථ වුණා.