Gossips

විස්ස ගැන පක්ෂ සාකච්ඡා ඉදිරි සතියේ

ජනතා විමුක්ති පෙරමුණ විසින් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කිරීම සාධනීය පියවරක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති අධිනීතීඥ ලාල් විජේනායක පවසනවා.
ඊයේ (25) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම පිළිබඳව සංවාදයක් ඇති කිරීමට මෙම කෙටුම්පත බෙහෙවින් උපයෝගී වනු ඇති බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් ඊයේ කථානායකවරයා වෙත භාරදුන් මෙම කෙටුම්පත පිළිබඳව ප්‍රධාන පක්ෂ තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බව හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ සොයා බැලීමකදී අනාවරණ වුණා.
ලබන තුන්වනදා පෙරවරුවේ පැවැත්වීමට නියමිත මධ්‍යම කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළේ.
එමෙන්ම ලබන මස මුල් සතියේ පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ ලබන අඟහරුවාදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ගේ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.
මේ අතර මෙම යෝජනාව අග්‍රාමාත්‍යවරයාගේ බලතල වැඩිකිරීමේ අරමුණින් ගෙන එන ලද්දක් බැවින් ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමින් පවතින බව සමාජවාදී ජනතා පෙරමුණ සඳහන් කළා.
එසේම ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම ද මෙම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පසුවන්නේ සාකච්ඡා මට්ටමකයි.
ඒ අනුව මේ පිළිබඳව ලබන සඳුදා විශේෂයෙන් රැස්වී තවදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව එම කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.