Gossips

විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

මේ වසරේ විසර්ජන පනත් කෙටුම්පත සඳහා අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
ඒ අනුව අද සිට සතියක කාලයක් තුළ එය ගැසට් කිරීමට නියමිත අතර, සති දෙකකින් පසු විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.
එළඹෙන පෙබරවාරි 5 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති අතර, අයවැය යෝජනා ඉදිරිපත් කිරීම සිදුවන්නේ මාර්තු පස්වනදායි.
එහි තුන්වන වර කියවීම මාර්තු 13 වනදා ආරම්භ වන අතර, අප්‍රේල් 4 වනදා 2019 අයවැය ලේඛනය පිළිබඳ අවසන් ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇති.
එමෙන්ම පළාත් සභා සහ ජාතික පාසල්වලට ක්‍රීඩා පුහුණුකරුවන් 3850 ක් බඳවා ගැනීමටද අද රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය හිමිවී තිබෙනවා.
මීට අමතරව සුරක්ෂා රක්ෂණ ක්‍රමවේදය අඛන්ඩව පවත්වාගෙන යෑමටද කැබිනට් අනුමැතිය හිමිවූ බවයි වාර්තා වන්නේ.
සාමාන්‍යයෙන් සෑම සතියකම අමාත්‍ය මණ්ඩල හමුව පැවැත්වෙන්නේ අඟහරුවාදා දිනයේ වුවද හෙට දිනයට යෙදී ඇති ජනපති පදවි ප්‍රාප්තිය හේතුවෙනුයි මෙලෙස අද පෙරවරුවේ අමාත්‍ය මණ්ඩලය රැස්වුණේ.
එළඹෙන සතියේද සඳුදා දිනයේ අමාත්‍ය මණ්ඩලය රැස්වීමට තීරණය කර ඇති අතර, අඟහරුවාදා දිනට තෛයිපොංගල් නිවාඩුව යෙදීම ඊට හේතු වී තිබෙනවා.
මේ අතර දකුණ, සබරගමුව, ඌව සහ උතුර පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමද අද දිනය තුළ සිදුකිරීමට නියමිතව ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ.
බස්නාහිර, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද සහ වයඹ පළාත් සඳහා ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයා මීට පෙර පත් කරනු ලැබුවා.