Gossips

විසඳුම් නැත්නම් වර්ජනය දීප ව්‍යාප්තව

ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ අද (04) පැවැත්වෙන සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට නිසි විසදුම් නොලැබුණහොත් තම වර්ජනය අඛණ්ඩව සිදුකරන බව දකුණු පළාත් ලංගම සේවකයින් පවසනවා.
වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන දකුණු පළාත් ශ්‍රී ලංගම සේවකයින් ආරම්භ කළ වර්ජනයට අදට දින 4ක්.
වර්ජනයේ නිරත සේවකයන්, ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සමඟ ගාල්ල – රුහුණු බස් සමාගම් කාර්යාලයේදී ඊයේ (03) සාකච්ඡාවක් සිදුකර ඇති අතර එය ද සාර්ථක වී නැහැ.
ඒ අනුවයි ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ ඔවුන් අද පස්වරු 2ට කොළඹ දී තවත් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇත්තේ.
කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවේදී සිය ඉල්ලීම් වලට නිසි විසදුමක් නොලැබුණහොත් වර්ජනය සඳහා සෙසු පළාත්වල ශ්‍රී ලංගම සේවකයින් ද එකතු කර ගන්නා බවයි ශ්‍රී ලංකා ගමනාගමන සේවක සමිතියේ ඇල්පිටිය ශාඛාවේ සභාපති අනුර මෙන්ඩිස් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.